“වෙපන් එක ගත්තානම් අපි ඔක්කොම මරනවා” කාක දූපතේ පොලිස් වෙඩි තැබීම අධිකරණයේ දිගහැරෙයි.!

පසුගිය පෙබරවාරි 21 දා කොටහේනේදී සිදුවූ මිනීමැරුමට සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු, පොලිසිය විසින් කොළඹ මෝදර කාක දූපතේ සඟවා තිබූ ආයුධ තොගයක් පෙන්වීමට ගොස් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අනිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ ඊයේ (14) පැවැත්විණි.

එහිදී කොටහේන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනාරච්චිගේ රවී සමන්ත සාක්ෂි දෙමින් සදහන් කළේ, අත්අඩංගුවට ගත් එක් අයෙකු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අශෝක ලක්මාල් ජයවර්ධන නැමැති යුද හමුදාවේ අවි පුහුණුව ලබා තිබූ අයෙකු බවත් අනෙක් සැකකරු විජය කුමාර් ප්‍රකාශ් යනුවෙන් හඳුනා ගත් බවත් ය.

රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මෙම අපරාධය ඩුබායි සිටින ‘ශිරාන් පලනි ‘ නැමැත්තාගේ මෙහෙයවා ඇති බවයි.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අවි ආයුධ කිහිපයක් මට්ටක්කුලිය, කාක දූපත ප්‍රදේශයේ සඟවා ඇති බව සැකකරුවන් ප්‍රකාශ කළ අතර ඉන් පසුව ඔවුන්ගේ මගපෙන්වීම යටතේ දැඩි ආරක්ෂක රැකවරණ මැද මෙම සැකකරුවන් දෙදෙනා රැගෙන නිලධාරීන් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගිය බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

එම අවස්ථාවේ එහි ඝණ අදුරක් පැවති අතර විදුලි පන්දම් ආධාරයෙන් සැකකරුවන් විසින් පෙන්වූ පොල් පැලයක් අසල පරීක්ෂාවක් සිදු කළ බවත් එම ස්ථානයේ තිබී සුදු පැහැති බෑගයක දමා තිබූ යමක් හමු වූ බවත් ඔහු ප්‍රකාශ කළා.

වැඩිදුරටත් සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ සැකකරුවන් දෙදෙනා තමා සමග පොර බැදීමක් සිදු කළ අතර, එහිදී තම ගිනි අවිය ගිලිහී ගිය බවයි.

එම අවස්ථාවේදී ලක්මාල් ජයවර්ධන නමැති සැකකරු විසින් ගිනි අවිය පැහැර ගත් බව තමන්ට තේරුම් ගිය බැවින් “වෙපන් එක අරගන්නා. වෙඩි තියයි” කියලා නමන් කෑගැසූ බව ද ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේ.

ඒ සමගම වෙඩි ශබ්ද කීපයක් ඇසුණු බවත්, ජයශංක නැමති නිලධාරියා විසින් සැකකරුවන්ට වෙඩි තබා තිබූ බවත් පසුව අනාවරණය වූ බවයි සාක්ෂි ලබා දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කළේ.

ලක්මාල් ජයවර්ධන කියන සැකකරු යුධ හමුදාවේ අවි ආයුධ පුහුණු ලැබූ තැනැත්තෙක් බැවින් ඔහු අතට මේ ගිනි අවිය පන්වූයේ නම් ඔහු වෙඩි තබා අප සියලු දෙනා මරා දමන බවයි සාක්ෂි ලබා දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.

“සැකකරුවන් වෙන වෙඩි ප්‍රහාර එල්ල නොකළා නම් එවැනි තත්ත්වයක් උද්ගත වීමට හැකියාව නිබුණා.” යනුවෙන් සාක්ෂිකාර ප්‍රධාන පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයා තව දුරටත් සදහන් කළේය.

මෙම සිද්ධියේදී මධුසංඛ නමැති පොලිස් කොස්තාපල්වරයාගේ කකුල් වලටද තුවාල සිදු වූ අතර සැකකරුවන් හා වෙඩි වැදුණු පොලිස් නිලධාරියා රැගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඉන්පසුව එම සැකකරුවන් දෙදෙනා මියගිය බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

මෙහිදී අගනියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ පොලිස්පතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මෙවැනි ආයුධ පෙන්වීමේ අවස්ථාවක් සඳහා සැකකරුවන් රැගෙන යන විට එම අවස්ථාව වීඩියෝ ගත කළ යුතු බවයි.

ඒ අනුව මෙම සිද්ධිය වූ අවස්ථාව වීඩියෝ ගත කළේදැයි නීතිඥවරයා සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ,

“එවැනි වීඩියෝ ගත කිරීමක් කරන්න හැකියාව ලැබුණේ නෑ. මොකද මේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ප්‍රසිද්ධියට පත්වුණා. ඒ අනුව ඔවුන් සඟවා තිබෙන ආයුධ ක්ෂණිකව සොයා ගැනීමට කටයුතු නොකලොත් ඒවා වෙනත් පාර්ශවයක් විසින් ලබා ගෙන අපරාධ ක්‍රියාවල යෙදවීමට හැකියාව තිබුණා. එම තත්වය මත වීඩියෝ ගත කිරීමට නොහැකි වුණා. මෙවැනි වීඩියෝ ගත කිරීමක් කරනවා නම් ඒ සඳහා පොලිස් අපරාධ වාර්තා අංශයේ පළපුරුදු වීඩියෝ පටිගතකරන්නෙකුගේ සහාය ලබාගත යුතුයි.”

ඒ අනුව මතුව තිබූ හදිසි තත්ත්වය මත එවැන්නක් කිරීමට නොහැකි වූ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එහිදී නීතිඥයා නවත් ප්‍රශ්නයක් මතු කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අදාල ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඔවුන්ගේ අන්වල මාංචු දමා තිබූ බව පොලිසිය විසින් ප්‍රකාශ කළ අතර එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් පොලිස් නිලධාරීන් සතුව තිබූ අවි ආයුධ උදුරා ගන්නේ කෙසේදැයි සැකයක් මතු වන බව සඳහන් කළා.

ඊට පිළිතුරු දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ” ස්වාමීනී… එක් මාංචු කුට්ටමක එක් කොනක් එක් සැකකරුවකුගේ අතට දමා නිබූ අතර අනිත් කොන අනින් සැකකරුගේ අතට දමා නිබුණා. ඉතින් සැකකරුවන් දෙදෙනාගේ එක් අතක් නිදහස්වයි තිබුණේ.” යනුවෙන් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එබැවින් ඔවුන්ට යමක් කිරීමට හැකියාව තිබූ බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 21 වනදා තෙක් කල් නිබුණා.

Loading

We are happy to invite you.