By unusuma.lk on
(LK time)පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මෙවර ජගත් පරිසර දින තේමාව “ ප්ලාස්ටික් භාවිතය දුරලමු” වන අතර, එම මූලික තේමාව පෙරදැරිව දේශීයව “දලුලන්න – ඉඩදෙන්න” යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැදීම, හැගීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා. විදේශිකයන් අපිට හමු වුණොත් එම සියලුදෙනා කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.
එහෙත්, අපට පෙනෙන මේ අලංකාරත්වය පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයද සැබවින්ම පරිසර පද්ධතිය තුළ තිබෙනවාද?. ඊට වඩා ගැඹුරු ඛේදවාචකයට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍යය හඳුනා ගත්තේ නාය යාම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අපි නාය යාමේ ඛේදවාචකය අත් විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුළම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත් විදිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.
ඉතාමත් හොද ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජිවත්වන අපිට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගිය හොත් අපේ අනාගත පරපුර වෙත අපි හිමිකර දෙන්නේ මහත් ඛේදවාචකයක්.
ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන් අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මෙම පරිසරය පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම, අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රය තුළ. ඒ වගේම එම අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමගින් පරිසරයට ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.
පළමුව මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.
ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන් හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන් විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.
මා අනුරාධපුරේ සිටින කාලේ අනුරාධපුර කියන්නේ බඹයක් කැපුවත් වතුර තිබුණු නගරයක්. එහෙත් දැන් බඹ දහයක් කැපුවත් අනුරාධපුරේ වතුර හොයා ගන්න නැහැ. අප හිතුවේ නැහැ අපේ ජීවිත කාලයේදී අනුරාධපුරේ වතුර විකුණන කඩ පැමිණේවි කියලා. ඉස්සර කඩුගන්නාව නගිද්දී අපට ඇහෙන්නේ රැහැයින්ගේ සද්දෙයි, වතුර සද්දෙයි. අපේ කන් අගුල් වැටුණා. දැන් එහෙම වෙන්නෙ නෑ පරිසරය වියළිලා. අපේ ජීවිත කාලය තුළදීම මේ ඛේදවාචකය අත්දකින පරම්පරාවක් බවට පත් වෙලා.”
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.