By unusuma.lk on
(LK time)සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත විකුමතුංග ඝාතන නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙසට නීතිපති පාරින්ද රණසිංහ විසින් කරන ලද නිර්දේශය සම්බන්ධයෙන් සමාජය තුළ කතිකාවක් මතුව ඇති පසුබිමක් ඒ පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (6) පස්වරුවේ ජනපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවැත්විනි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාව තහවුරු කිරීමේදී හා යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට පැවරී ඇති විශාල වගකීම ඉටු කිරීමට අසමත් නම් එම පුටුවල වාඩිවී සිටීම තවදුරට ත් පලක් නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපති පාරින්ද රණසිංහ කැඳවා ප්‍රකාශ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග පවසයි..
ජනාධිපතිවරයා විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ යැයි සැක කළ චූදිතයන් පිළිබඳව නීතිපතිගෙන් කරුණු විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා පිළිතුරු දී ඇත්තේ අදාළ නඩුව එම ඝාතනයට වගකිවයුතු අය පිළිබඳ නඩුවක් නොව තොරතුරු වසන් කිරීමට අදාළ නඩුවක් බව ය.
එහිදී නීතිපතිවරයා පෙන්වාදී ඇත්තේ ඇත්තේ ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි නම් නැවත නඩු පැවරිය හැකි බවත් අදාළ පරීක්ෂණ සිදුකෙරෙන අතරවාරයේ නැවත එකී නිදහස් කළ චූදිතයන්ගේ සාක්ෂි ගැනීම අවශ්‍ය වුවහොත් ඊට ඔවුන් නැවත කැඳවීමට වුවද සූදානම් බවයි.
කෙසේ වුවද, මේ සිදුවීම මත සමාජය තුළ සහ මාධ්‍යවේදීන් අතර ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළ ජනාධිපතිවරයා නීතිපති පාරින්ද රණසිංහ වෙත දැඩි අවවාද කළ බවත් ගත යුතු පියවර පිළිබඳව වැඩිදුර උපදෙස් දී ඇති බවත් වාර්තා වේ.
Source – Mawbima