By unusuma.lk on
(LK time)ඊයේ (12) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා අතර හමුවක් පැවැත්විණි.
මේ හමුව සඳහා ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් සහ ඩුබායිහි පළමු නියෝජ්‍ය පාලක, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටූම් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් යන එරට රාජ්‍ය ප්‍රධානීන්ද එක්ව සිටියහ.
ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම සහ ගෝලීය වශයෙන් පාලනයේ සහ ප්‍රධාන උපායමාර්ගික අංශවල ප්‍රමුඛයන් සමඟ විශේෂඥතාව හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහය සහ කැපවීම ෂෙයික් මොහොමඩ් මහතාගේ ඇගයීමට ලක් විය. පසුගිය වසර කිහිපය තුළ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් විසින් ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ශක්තිමත් කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලබා දෙන බවට ද ඒ මහතා මෙහිදී සහතික විය.
ගෝලීය මට්ටමින් රාජ්‍ය සම්බන්ධීකරණ කටයුතු ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ආර්ථික හා සංවර්ධන අභියෝග සඳහා නව්‍ය විසඳුම් සකස් කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ වැදගත් ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා සහාය ලබා දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙන් ආයෝජන, වෙළඳාම සහ සංචාරක ක්ෂේත්‍රයන් මේ වන විට සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියත් අත්පත් කරගෙන ඇති බව ද විශේෂයෙන් සඳහන් කළේය.
තවද අර්ථවත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරිම, ගෝලීය පාලන පිළිවෙත් ඉදිරියට ගෙන යාම සහ අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම නව අවස්ථා ගවේෂණය කිරීම සඳහා අවශ්‍ය තීක්ෂණ බුද්ධියෙන් රාජ්‍ය නායකයන් සන්නද්ධ කිරීම සඳහා ලෝක රාජ්‍ය සමුළුව විසින් සිදු කරනු ලබන මහඟු කාර්යභාරයද ජනාධිපතිවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.