පාසලේ බඩු තිබ්බොත් විදුහල්පතිට නඩු.!

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ පාසල් පරිශ්‍රවලින් ඩෙංගු හා විකුන්ගුන්යා රෝග වාහක මදුරුවන් හඳුනාගතහොත් එම පාසල්වල විදුහල්පතිවරුන් පෞද්ගලිකව වගකීමට බැඳෙන බවයි.

ඒ අනුව විදුහල්පතිවරුන්ට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට ද මුහුණදීමට සිදුවනු ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි. 

අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ දිවයින පුරා වැසි සමය ආරම්භවීමත් සමඟ ඩෙංගු සහ විකුන්ගුන්යා රෝග පැතිරයාමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, පාසල් පරිශ්‍රවල මෙම රෝග නිවාරණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් නිකුත් කරන ලද උපදෙස් පත්‍රිකාවට අනුව, සියලු පාසල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවන ලෙස ආරක්ෂිතව පවත්වාගැනීමට පියවර ගත යුතු අතර, පාසල් අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.

මෙම උපදෙස් අනුව, අවදානම් සහිත ස්ථාන පවිත්‍ර කිරීම සඳහා පළාත් පාලන ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වැනි අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහාය ලබාගැනීම ද වැදගත් වන අතර, පාසල් පරිශ්‍රයට ප්ලාස්ටික්, පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වැළකීමට සිසුන් හා කාර්ය මණ්ඩලය දැනුවත් කළ යුතු බව සඳහන් කර ඇත.

තවද, පාසල් කාලය තුළ සිසුන් මදුරු දෂ්ටනයට ලක්වීම අවම කිරීම සඳහා මදුරු විකර්ශක ආලේපය කිරීමට හා අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුම් ඇඳීමට දරුවන් දැනුවත් කිරීමට ද උපදෙස් දී ඇත.

අමාත්‍යාංශය විසින් පාසල තුළ එක්රැස් වන ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කර නිසි පරිදි බැහැර කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට ද උපදෙස් දෙන අතර, වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය මගින් හඳුනාගත් කැඩී බිඳී ගිය ද්‍රව්‍ය හැකි ඉක්මනින් ඉවත් කරන ලෙස ද නිවේදනයේ සඳහන් වේ.

2025 මැයි 31 වන දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 සිට 19 අතර පාසල් වයසේ දරුවන් බව සෞඛ්‍ය අංශ විසින් දැනුම් දී ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොරව ආරක්ෂිතව පවත්වාගැනීම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපි අනුගමනය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද උපදෙස් දී තිබේ.

මෙම නිවේදනය සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පිරිවෙන් පරිවේණාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන්, අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් ඇතුළු සියලු අදාළ අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments