කොටු වූ කොස්තාපල්ගේ බැංකු ගිණුමට ලක්ෂ 68ක් වැටිලා.. සැකකරුවන් 8න් 5ක් හමුදා සහ පොලිස්.!

ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටින අතුරුගිරිය පොලිසියේ කොස්තාපල්වරයාගේ බැංකු ගිණුමට පසුගිය දිනවලදී රුපියල් ලක්‍ෂ 68 ක් බැරවී ඇති බව අනාවරණය වී ඇත.

එම මුදල් සංජීව ඝාතන සිද්ධියට සහාය වීම වෙනුවෙන් පද්මේ නමැති පාතාල නායකයා විසින් ලබාදෙන්නට ඇති බවට සැක පහළ කරයි.

මෙම ඝාතන සිද්ධියට අතුරුගිරියේ කොස්තාපල් සම්බන්ධ වී ඇත්තේ ඔහුට අයත් කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථය ඝාතකයාට පලා යෑමට ලබාදීමෙන්ය. කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම ඝාතකයා සමග ඔහු පලාගිය වෑන් රථය පුත්තලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

වෑන් රථයේ තිබූ බිල්පත් කිහිපයක් ඔස්සේ කළ විමර්ශනයකදී අතුරුගිරියේ මෙම කොස්තාපල් පොලිසියට කොටුවිය. පසුව කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම වෑන් රථය ද ව්‍යාජ අංක තහඩු ව්‍යාජ එංජින් සහ චැසි අංක යොදා සකස් කළ එකක් බවයි.

අදාළ පොලිස් නිලධාරියා මෙම ඝාතනයේ මහ මොළකරු ලෙස සලකන ඩුබායි හි සැඟවී සිටින කෙහෙල්බද්දර පද්මේ සමග කාලයක සිට සමීප සබඳතා පවත්වා ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 08 දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන නීතිඥ වෙස් ගත් කාන්තාව මේ වනතුරුම සොයා ගැනීමට සමත් වී නැත.

අදාළ කාන්තාව සැඟවී ඇති බව සැකකරන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කළ ද මේ වනතුරුත් ඇය සොයා ගැනීමට හැකි වී නැත.

පොලිසිය පවසන්නේ ඩුබායි රාජ්‍යයේ සිටින කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ ඉතාම සමීප හිතවතියක වන මෙම කාන්තාව සංජීව ඝාතනයේ සියලු සැලසුම් මෙහි සිට සැලසුම් කර ඒවා ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අටදෙනා අතරින් දෙදෙනකු පොලිස් නිලධාරීන් වන අතර තවත් තිදෙනකු යුද හමුදාවෙන් පලාගිය සෙබළු වෙති.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.


Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.