සන්නස්ගල අත්අඩංගුවට ගැනීමට සැරසෙයි.!

උපුල් ශාන්ත සන්නස්ගල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ‘බුදුන්ගේ රස්තියාදුව’ නමැති විවාදාත්මක ග්‍රන්ථය සම්බන්ධයෙන් උද්ගත වූ නීතිමය ගැටලු හේතුවෙන්.

එම ග්‍රන්ථය උපුල් ශාන්ත සන්නස්ගල මහතා හිමිකාරීත්වය දරන සංහිඳ ආයතනය මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 11 වන දින පැවැත්වීමට නියමිතව තිබූ නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

කේ.කේ. ශ්‍රීනාත් චතුරංග විසින් රචනා කළ මෙම ග්‍රන්ථය පසුගිය කාලය පුරා සමාජයේ දැඩි කතාබහට ලක්වූ අතර විශේෂයෙන්ම එහි නාමය සහ එහි අන්තර්ගතය සම්බන්ධයෙන් බෞද්ධ ප්‍රජාව විසින් දැඩි විවේචන එල්ල කළහ.

මෙම ග්‍රන්ථයේ ඡායාරූපයක එහි කතුවරයාගේ පුත්‍රයා කතෝලික ආගමික සංකේත සහිත මාලයක් පැළඳ සිටීම සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය තුළ විවිධ සංවාදයක් ඇති විය.

එමෙන්ම 2018 වසරේදී, එවකට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ මහතා මෙම පොත සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කළ අතර එම ලිපියේ සඳහන් වූයේ මෙම කෘතිය බුදුන් වහන්සේට සහ බුදු දහමට අගෞරව වන ආකාරයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත්, එමගින් ලෝකවාසී බෞද්ධ ජනතාව මානසික පීඩනයට ලක්ව ඇති බවත් ය.

එම ලිපිය අනුව, මෙම පොතේ කර්තෘ, මුද්‍රණකරු, ප්‍රකාශක, බෙදාහරින්නන් සහ අලෙවිකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 ඒ සහ 291-ඕ වගන්ති යටතේ වරදකරුවන් වන බව පෙන්වා දී තිබුණි.

කෙසේවෙතත් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුව මත උපුල් ශාන්ත සන්නස්ගල මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.