නාමල්ගේ හයියට සතා නාලකත් උසාවියට බැහැලා.!

ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොලම්බු නමැති සමාගමෙන් ගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණය ඊයේ (18) කැඳවූ අවස්ථාවේදී නඩු විභාගය දැක බලා ගැනීමට මිරිහානේ බස් ගිනි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ නාලක අශාන්ත නොහොත් ‘සතා නාලක’ ඇතුළු ආධාරකරුවන් රැසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.

එමෙන්ම පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන්ස්ටන් පෙරේරා, සී.බී රත්නායක යන පිරිසද ඊට සහබාගී වූහ.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇඟිලි සටහන් ලබා ගන්නා ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

කෙසේවෙතත් විවෘත අධිකරණය ඉදිරියේ චෝදනා පත්‍රය කියවනු ලැබූ අවස්ථාවේ තමාට විරුද්ධව එල්ලව ඇති සියලු චෝදනාවන්ට නිවැරැදිකරු බව නාමල් රාජපක්ෂ කියා සිටින ලදි. ඉන්පසු පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීම සිදු විය.

අධිචෝදනා පත්‍රයේ සඳහන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සිවිල් සාක්ෂිකරුවන් කිහිපදෙනකු ඉන්දියාවේ සහ ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරගතව හෝ ඇප මත සිටින තැනැත්තන් බවට විත්තිය අධිකරණයට දන්වන ලදි.

නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා රජයේ නිලධාරීන් හැර වෙනත් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නොවන බව අධිකරණයට දන්වන සිටියේය.

ලබන මාර්තු 27 වැනිදා නැවත නඩුව කැඳවීමට නියමිත අතර එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සේනාධීර සාක්ෂි දීමට නියමිතය. රග්බි තරගාවලියක් පැවැත්වීම සඳහා 2012 වසරේ ඔක්තෝබර් 15 වැනිදා සහ 2013 වසරේ ඔක්තෝබර් 14 වැනිදා අතර කාලය තුළදී රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා වන්නකුවත්ත වඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරා යන අය මාර්ගයෙන් රුපියල් මිලියන 70ක මුදලක් ගෙන සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වැනිදා චෝදනා ගොනු කරන ලදි.

‘දූෂණ විරෝධී හඬ’ සංවිධානය වෙනුවෙන් වත්මන් වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් 2016 වසරේදී පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලක් අනුව මෙම මූලික විමර්ශනය ආරම්භ විය.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සමඟ සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.