රට තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හුදු පාතාල කල්ලි අතර ගැටුමක් බවත් එය මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබුණද රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“ජාතික ආරක්ෂාව පිළිබදව කිසිඳු තර්ජනයක් නෑ. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වෙලා තිබෙනවා. මහජනයාගේ පොදු ආරක්ෂාවට ඒක තර්ජනයක් බවට පත්වෙලා නෑ. මෙම පාතාල කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වුණු, විවිධ ශේෂ්ත්රවලට, ආයතනවලට පැතිරිලා තිබෙනවා ඔවුන්ගේ සබඳතාවයන්.
එනිසා ඒක විනාශකාරී ජාලයක් බවට වර්ධනය වී තිබෙනවා. අපි දැඩි උත්සහයක් දරනවා මේක මුලුමනින්ම මැඩපැවැත්වීමට. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන්. මොකද මේ සියල්ල වර්ධනය වුණේ දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නෑ.
සමහර තොරතුරු අප වෙත ලැබෙමින් තිබෙනවා. අපි ඒ පිළිබදව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. මේවා හුදු පාතාල කල්ලි අවකල්ලියක් එක්ක ගැටුමක් ද.? මේ පිටුපස කවර හෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කරමින් මෙහෙයවනවාද කියන සැකය තියෙනවා. ඒ පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.”
අද (23) දින මහනුවර ශ්රී දලදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.