බන්ධනාගාර අධිකාරී සිරිදත් මහතාගේ ඝාතනයේ තවත් තොරතුරු හෙළිවෙයි.!

බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතාව අද (13) පස්වරුවේ වෙඩිතබා ඝාතනය කෙරුණි.

ඔහුගේ අක්මීමන, තලගහපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී අද පස්වරු 4.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණි.
          
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතබා පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.

හිටපු අධිකාරීවරයෙකු ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදි 2ද යක්කලමුල්ල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

තලගහවත්ත ප්‍රදේශයේ සීතලදොල ආරණ්‍ය සේනාසනය පාරේ කටුපොල් වත්තක දමා ගොස් තිබියදී මෙම සැකසහිත යතුරුපැදි දෙක හමුවී තිබේ.

ඒ අනුව සැකකරුවන් සොයා අදාළ ප්‍රදේශය වට කරමින් මෙහෙයුමක් ආරම්භ කිරීමට යක්කලමුල්ල පොලීසිය පියවර ගෙන තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශ්‍රාමික බන්ධනාගාර අධිකාරීවරයා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවය.

වෙඩික්කරු විසින් ඔහුගේ හිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

61 හැවිරිදි සිරිදත් ධම්මික මහතා දරුණු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කලක් සේවය කර තිබුණි.

එහිදී ඔහුට පාතාල තර්ජන ද එල්ලවී ඇති බව පොලිසිය පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.