By unusuma.lk on
(LK time)අද (12) පස්වරුවේ පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටියදී ඉන් 12 දෙනෙකුගේ දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක ඒකකය සමත්ව තිබේ.
කෙසේ වෙතත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයකු මෙලෙස අතුරුදන්ව ඇති අතර අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා හා තවත් මිතුරන් තිදෙනෙකු සමග පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇත.
ඔවුන් සමග ඇඹිලිපිටියේ සිට පැමිණි 8 දෙනෙකු ද සිට ඇති අතර එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
එහිදී ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් 12 දෙනෙකුම බේරාගැනීමට සමත්ව ඇති අතර එලෙස බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20ට අඩු තරුණයන් බව වාර්තා වේ.
අද දින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්‍රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවද පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේය.
ජීවිත බේරාගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී තුවාල ලබා ඇති බව වාර්තා වේ.