By unusuma.lk on
(LK time)සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්විය..
එහිදී අනාවරණය වී ඇත්තේ 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියට මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් තායිසේ සමාගම වෙත රුපියල් බිලියන 37ක ගෙවීමක් කර ඇති බවයි.
අපේක්ෂිත 30% ක භෞතික ප්‍රගතියට සාපේක්ෂව 5.44%ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් A පැකේජය වන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ආශ්‍රිත (Passenger Terminal Building & Associated works) ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා තායිසේ සමාගම (Taisei Corporation) වෙත මෙම රුපියල් බිලියන 37ක මුදලක් ගෙවා ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය ණය මුල්‍යනය කිරීම පිළිබඳ අන්තර්කාලින ප්‍රතිපත්තිය යන මැයෙන් මුදල් අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 12 දිනැතිව නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් ව්‍යෘපෘතිය සඳහා ණය මුදලේ ණය වාරික මුදාහැරිම JICA ආයතනය විසින් අත්හිටුවා තිබු අතර මෙහි ප්‍රතිපලයක් ලෙස කොන්ත්‍රාත්කරු 2022 දෙසැම්බර් 09 දින ඉදිකිරීම් කටයුතු නවත්වා තිබු බවත්, ඒ හේතුවෙන් ඇති වූ අලාභය ද ඇතුළුව රුපියල් බිලියන 37ක ගෙවීමක් සිදුකිරීමට සිදුවූ බවත් පැමිණ සිටි නිලධාරීන් පවසා තිබේ.
අවුරුදු 3ක කාල සීමාවක් සඳහා වූ ව්‍යාපෘතියක, කොන්ත්‍රාත් කාල සීමාවෙන් වසර දෙකක් අවසන්ව තිබියදී පවා 5.44% ක් පමණ වූ තත්‍ය ප්‍රගතියකට මෙතරම් මුදලක් තායිසේ සමාගමට ගෙවීම කෙතරම් සධාරණද යන්න පිළිබඳව කාරක සභාව ප්‍රශ්න කර ඇත.
තවද, ඉදිකිරීම් කටයුතු නැවැත්වීමෙන් පසු ඉදිකිරීම් වලට සිදුවන හානිය අවම කිරීම සඳහා කොන්ත්‍රාත්තු තායිසේ සමාගම නොවන වෙනත් සමාගමකට ලබාදීමත්, එම කොන්ත්‍රාත්තු සඳහා රුපියල් මිලියන 1,328.7 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවීම පිළිබඳවත් කෝප් කාරක සභාව දීර්ඝ වශයෙන් සකච්ඡාවට බඳුන් කරන ලදි.
උක්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමෙන් පසු කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියට අදාළව මිලදී ගත් ද්‍රව්‍ය හා උපකරණ AASL විසින් භාරගත යුතු අතර, ඒ තුළ වූ රුපියල් මිලියන 1,550 ක් වටිනා ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතිය නතර කළ කොන්ත්‍රාත්කරුගේ දේශිය උප කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම්ගතව ඔවුන් යටතේ පෞද්ගලික ගබඩාවල රඳවා තිබුණි.
ඊට අදාළව AASL හි සභාපතිවරයා විසින් කමිටු නවයක් පත් කර තිබු අතර, එකී කමිටු ඇගයීම් සහ නිර්දේශය අනුව, ඔවුන් සතු incinerator යන්ත්‍රය වෙනත් ගබඩා ස්ථානයකට ගෙන යාම මගින් මාසිකව රුපියල් 392,904 ක් ඉතිරි කර ගත හැකි බව දන්වා තිබුණි.
එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මත 2023 මාර්තු සිට 2024 දෙසැම්බර් දක්වා සමාගමට රුපියල් මිලියන 3.9 ක අමතර ගබඩා පිරිවැයක් දැරීමට සිදු වී තිබීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ අවධානය යොමු විය.
එමෙන්ම, මිනුවන්ගොඩ ද්විත්ව මංතීරු ඉදිකිරිම සම්බන්ධයෙන් ද කෝප් කාරක සභාව ප්‍රශ්න කරනු ලැබීය.
මෙම මංතීරු ඉදි කිරීම හේතුවෙන් බහු මහල් රථගාල ඉදි කිරීමට අදාළ කටයුතු අඩපණ වී ඇති බවත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සතු ව්‍යාපෘති තුළ බොහෝ සැලසුම් සහ නිර්මාණකරණයට අදාළ වූ ගැටලු පවත්නා බව කමිටුව මෙහිදී අවධාරණය කරනු ලැබීය.
මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන්මලී ගුණසිංහ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, චන්දිම හෙට්ටිආරච්චි, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.