අනේක වද වේදනා දී කුඩා දැරියක් විකෘති ලිංගික අතවරයකට ලක් කළ සාහසිකයෙකුට හිමි වූ දඬුවම.!

නව හැවිරිදි දැරියකගේ රහස් ප්‍රදේශය පොල් පිහියකින් කපා ස්ත්‍රී දූෂණයක් කළැයි චෝදනාව ඇතුළු තවත් චෝදනා 5 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කොට තිබූ අධි චෝදනා 6 කට වරදකරු කළ අයකුට වසර 51ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එම සිර දඬුවමට අමතරව රුපියල් දාහත් දහසක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ 3 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.

ස්ථිර පදිංචියක් නොමැති විවිධ ප්‍රදේශවලට ගොස් කුලී වැඩ කිරීමේ නිරතව සිටි 39 හැවිරිදි එදිරිසිංහ ආරච්චිලාගේ චන්දන එදිරිසිංහ නොහොත් ශාන්ත නොහොත් නිමල් නම් අන්වර්ථ නාම දෙකකින් පෙනී සිටි අයකුට එලෙසින් දඬුවම් නියම විය.

එම සිරදඬුවම නියම වන අවස්ථාව වන විටත් චූදිත පැදවූ ට්‍රැක්ටර් රථයකට යටවී දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙමින් සිටි ඔහුගේ පුතු පණ පිටින් වළදමා ඝාතනය කළ සිද්ධියකට අදාළව ද පුත්තලම මහාධිකරණයෙන් ඔහුට මරණීය දණ්ඩනය නියම වී තිබිණි. එම නඩුවේ නියෝගය දීමට පෙර විත්තිකරු ඇප මත සිටියදී මෙම අපරාධය සිදුකර තිබිණ.

එම පුත්තලම සිද්ධියෙන් අනතුරුව 2016 වසරේ පන්නල වෙල්පල්ල ප්‍රදේශයට පැමිණ කුලීවැඩ කරමින් සිටියදී බිරිඳට බලපෑම් කර වින්දිත දැරිය බිරිඳ ලවා නිවසින් බැහැරට ගෙන ගොස් පාළු පොල්වත්තකදී කෲර වධ හිංසා පමුණුවා ඇයගේ මුහුණට පහරදී දත් කඩා දමා මෙම අපරාධය සිදුකර තිබූ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එම චෝදනා මෙන්ම බරපතළ අපයෝජනය, ස්ත්‍රී දූෂණය, අපහරණය ඇතුළු චෝදනා 6 ක් පැමිණිලි පාර්ශ්වය සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබීම නිසා මහාධිකරණය මගින් අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර තිබිණ.

එහිදී සැකකරු වෙනුවෙන් නීතිඥ සහායක් නොතිබීම නිසා රජයෙන් නීතිඥයන් පත් කර තිබිණ. ඒ අනුව චූදිත වෙනුවෙන් පත්කළ නීතිඥයන් වූ නීතිඥ අමල් රණසිංහ හා නන්දික අමරසිංහ යන මහත්වරු පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ මහින්ද සිල්වා මහතා පෙනී සිටියේය.

පන්නල පොලිසියේ සැරයන් එදිරිසිංහ (21307) මහතා පැමිණිල්ල මෙහෙයවීය. වින්දිත දැරිය මේ වනවිටත් පරිවාස භාරයේ පසුවන අතර පරිවාස නිලධාරී ඉන්දික රොෂාන් මහතා ද නඩුව වෙනුවෙන් පෙනී සිටියේය.


(Divaina)

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments