දළඳා වන්දනාවේ සේවයට කැපවූ පොලිස් නිලධාරීන් මියගිය හේතුව.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා නිල ප්‍රකාශයක් කරමින් දැනුම්දී තිබුනේ මහනුවර සිරි දළදා මාලිගාවේ වන්දනා රාජකාරියේ නියැලී සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඉකුත් 18 වන දින මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇති අතර මියගිය නිලධාරීන් දෙදෙනා නාවුල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් මංජුල රාජපක්ෂ (42) සහ කඩුගන්නාව පොලිසියේ සේවය කළ සැරයන් එස්.යූ.එන්. නිශ්ශංක (57) බව හඳුනාගෙන ඇත.

නාවුල පොලිසියේ සේවය කළ සැරයන්වරයා වන මංජුල රාජපක්ෂ මහතා, තම රාජකාරිය අවසන් කර යතුරුපැදියකින් නිවස බලා ගමන් කරමින් සිටියදී, නින්ද යාම හේතුවෙන් පාලනය නැති වූ යතුරුපැදිය මාර්ගය අසල පිහිටි කොන්ක්‍රීට් කානුවක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

එමෙන්ම, කඩුගන්නාව පොලිසියේ සැරයන් එස්.යූ.එන්. නිශ්ශංක මහතා තම රාජකාරියේ නියැලී සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයකට පසුව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

මේ අතර, සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ අධික සංඛ්‍යාව හේතුවෙන්, මහජනතාවට දැනට වන්දනාවේ නොයෙදෙන ලෙස පොලිසිය නිල වශයෙන් දැනුම් දී තිබුණද, එම උපදෙස් නොතකා විශාල බැතිමතුන් පිරිසක් පෙරදින මෙන්ම ඊයේ දිනයේ ද දළදා මාලිගා පරිශ්‍රයට පැමිණ තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වත්මන් තත්ත්වය යටතේ දිවයින පුරා පොලිස් නිලධාරීන් ගම්මාන වෙත ගොස් සිරි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාව දැනුවත් කිරීමේ ව්‍යායාමයක නිරත වන අතර, දුම්රිය සහ මාර්ගස්ථ ප්‍රවාහන බස් රථ ගමනාගමනය ද සීමා කර ඇති බව පොලිසිය තවදුරටත් දන්වා සිටී.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments