හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරන්න.!

ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් පාලම් සහ මහාමාර්ග සම්බන්ධ තොරතුරු සහ ඒවා පිළිසකර කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

නායයෑම්, ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වී ගොස් තිබෙන පාලම් සහ මහාමාර්ග පිළිසකර කිරීම, ඊට ගත වන කාලය සහ අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට A සහ B ශ්‍රේණියේ කිලෝමීටර් 247ක් පමණ වන මාර්ග හානියට පත්ව තිබෙන බවත්, පාලම් 40ක් විනාශ වී ගොස් ඇති බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍යාංශ නිලධාරීහු, කැඩී ගිය මාර්ග කොටස් 256න් 175ක් මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර තිබෙන බවද සඳහන් කළහ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments