By unusuma.lk on
(LK time)රාත්‍රී කාලයේ රථ වාහන රාජකාරි යෙදී සිටිනා පොලිස් නිලධාරින් රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී, අදාල නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටීමටත්, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කිරීමටත් වැඩබලන පොලිස්පතිතුමාගේ අත්සනින් යුතු විශේෂ උපදෙස් මාලාවක් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කරමින් නිකුත්කර තිබේ.
සැබැවින්ම අඳුරු පැහැති පොලිස් නිළඇඳුම සහිතව රාත්‍රී කාළයේ සේවයේ යෙදී සිටිනා පොලිස් නිළධාරීන් රියදුරන්ට දර්ශනය නොවීම හේතුවෙන් නිළධාරීන් අනතුරට ලක්වීම මෙන්ම අන නොතකා ධාවනය ආදී වැරදි සඳහා රියදුරන්ට දඩ ගෙවීමට සිදුවීම වැනි ප්‍රායෝගික ගැටළු රැසක් දක්නට ලැබුනි.
එමෙන්ම, රථ වාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථ වාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුලින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීමෙන් ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය මඟහැරීමද මෙම උපදෙස් මාලාව තුලින් සැළකිල්ලට ලක්කර ඇත.
තවද මෙම උපදෙස් මාලාව තුළින් රාත්‍රී රාජකාරි යොදවන නිලධාරීන් එසේ ක්‍රියා කරන්නේ ද යන්න නිරන්තරවම අධීක්ෂණය කරන ලෙසට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් වෙත වැඩබලන පොලිස්පතිතුමා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.