නිල් රතු තොරම්බල් ලයිට් අලි හෝන් වලට තිත.!

ශ්‍රී ලංකා පොලිසිය විසින් නීති විරෝධී ලෙස ආතර උපාංග සවි කර ඇති වාහන සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තීරණය කර ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග අනුව, නීති විරෝධී ලෙස සවිකර ඇති නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත බල්බ්, විවිධ නාද රටා සහිත හෝන් ඇතුළු අමතර සවි කිරීම් සහිත වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට දැනුම් දී ඇත.

මෙම පියවර ගැනීමේ ප්‍රධාන අරමුණ වන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට සමගාමීව මහමග ජීවිත සුරක්ෂිත කිරීම, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමයි. වැඩබලන පොලිස්පතිවරයා පවසා ඇත්තේ, අධික ශබ්ද සහිත සයිලන්සර්, ඝෝෂාකාරී නලා ඇතුළු අනතුරුදායක සවිකිරීම් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසයි.

ඊයේ (2025-01-02) සිට නැවත දැනුම් දෙන තුරු මෙම පරීක්ෂා කිරීම් සිදු කළ යුතු බවද වැඩබලන පොලිස්පතිවරයා සියළුම පොලිස් ස්ථාන වලට දැනුම්දී ඇති අතර මෙවැනි රථ වාහන මාර්ගයේ ධාවනය වුවද, එය නුදුටුවාක් සේ රථවාහන පොලිසිය කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට හේතුවී ඇති බවත්, එය ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයටද හානියක් බවත් වැඩබලන පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා, සෑම පොලිස් බල ප්‍රදේශයකම දිනකට පැය තුනක් බැගින් මෙහෙයුම් දෙකක් සිදු කළ යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත. මෙහිදී, නීති විරෝධී සවි කිරීම් සහිත වාහන හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට පොලිසියට උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව, ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එන වාහන සහ මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය පොලිස් නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත. එහිදී, වාහනවල මගීන්ට අනතුරු සිදුවිය හැකි අන්තරාදායක ලෙස සවි කර තිබූ අමතර කොටස් ගලවා ඉවත් කිරීමටත්, අත් තිරිංග, සංඥා ලාම්පු, ප්‍රධාන ලාම්පු ඇතුළු මෝටර් රථ ආඥා පනතේ වාහනයක් ධාවනය කිරීමට පනවා ඇති කරුණු 21ක් කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී, පොදු ප්‍රවාහන සේවා රථ පරීක්ෂා කිරීමේදී මගීන් අපහසුතාවට පත් නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවටද වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී ඇති අතර මෙම පියවර ගැනීමෙන්, මහමග ජීවිත සුරක්ෂිත කිරීම, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීම සහ නීති විරෝධී උපාංග වාහන සඳහා සවිකිරීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කෙරේ.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.