ශ්‍රී ලංකාව තුළ Skydiving මෙහෙයුම්.!

ශ්‍රී ලංකාව තුළ නිදහස් ආර පැරෂුට් පැනීමේ (Skydiving) මෙහෙයුම් හඳුන්වාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් (05) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ‘Skydive Sri Lanka ආයතනයේ නියෝජිතයින් විසින් නිදහස් ආර පැරෂුට් පැනීමේ ක්‍රීඩාව හඳුන්වා දෙමින්, එය සුවිශේෂී වික්‍රමාන්විත සංචාරක අංගයක් (Adventure tourism) ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව සහ යෝජිත මෙහෙයුම් අංශ පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදි.

ශ්‍රී ලංකාව තුළ නව සංචාරක ආකර්ෂණයක් ලෙස මෙය දියුණු කිරීමේ ඇති අවස්ථා සහ මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉන් ලැබිය හැකි දායකත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා මෙම ක්‍රියාකාරකම් මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමේදී ඇති විය හැකි බාධාවන් සහ අභියෝග හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඒ අනුව, මෙයට අදාළ නියාමනයන්, ආරක්ෂක ක්‍රියාමාර්ග, මෙහෙයුම් ක්‍රියාවලිය සහ අනෙකුත් කරුණු සමීපව පරීක්ෂා කරන ලෙසත්, ශ්‍රී ලංකාවට මෙය හඳුන්වා දීමේ සමස්ත ශක්‍යතාව තක්සේරු කරන ලෙසත් ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කොට ඉදිරියේදී වැඩිදුර සාකච්ඡාවට ගැනීමට ද ඔහු යෝජනා කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments