By unusuma.lk on [last-modified] (LK time)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) සිය කණගාටුව පළ කළේය.
එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට මෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහිදී සිය උපරිම සහාය ලබා දෙන බවද මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඊයේ (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකථනයෙන් සම්බන්ධ වූ මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම අසීරු අවස්ථාවේ මාලදිවයන් රජය සහ ජනතාව ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග අත්වැල් බැඳගෙන සිටින බවයි.
තම සහෝදර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තනි නොකරන බවද ආචාර්ය මොහමද් මුයිසු මෙහිදී අවධාරණය කළේය.
සෑම අසීරු අවස්ථාවකම මාලදිවයින, ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අවස්ථාවේදීද මාලදිවයින රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට ලබා දෙන හෘදයාංගම සහාය මහගු ශක්තියක් බව ප්‍රකාශ කළේය.






