By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකාවේ ප්‍රථම මුද්‍රණාලාධිපතිනිය ලෙස සැලකෙන හිටපු රජයේ මුද්‍රණාලයාධිපතිනිය ගංගානි ලියනගේ මහත්මිය විශ්‍රාම ලැබීමෙන් අනතුරුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව මුද්‍රණාලයාධිපති ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබේ.
අද (02) පෙරවරුවේ කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී සිය නව ධුරයේ වැඩ කටයුතු භාර ගත් අතර ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජෙනරාල්වරයකු ලෙසද කටයුතු කරයි.
කෙසේ වෙතත් රටේ ජනතාවට රජයේ මුද්‍රණාලය කී සැනින් සිහිවන්නේ “මුද්‍රණාලාධිපතිනිය” යන තනතුරයි, සෑම මැතිවරණ සමයකදීම කතාබහට ලක්වන ඇය මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ,අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරු හතර දෙනෙකු යටතේ එම තනතුර තුළ සේවය කර ඇත.
1986 වර්ෂයේදී සේවයට එක්වූ ඇය විශ්‍රාම යන විට වසර 38ක මුද්‍රණ ක්ෂේත්රයේ අත්දැකීම් ලබා ඇත.
වයස අවුරුදු විසි තුනේදී මුද්‍රණ සේවයට බැඳුණු ඇයට එතැන් සිට වසර තුනක පුහුණු කාලයෙන් අනතුරුව සහකාර මුද්‍රණාලාධිපති තනතුරට පත්ව වයස අවුරුදු 34 දී නියෝජ්‍ය මුද්‍රණාලාධිපතිනිය ලෙස උසස්වීම් ලබා ඇත.
2016 වසරේ සිට 2023 ජුනි 23 දක්වා රජයේ මුද්‍රණාලාධිපතිනිය ලෙස කටයුතු කළ අතර එයින් පසු කොන්ත්‍රාත් පදනම යටතේ සිය සේවය ලබා දුන් ගංගානි ලියනගේ මහත්මිය පසුගිය දෙසැ. 24 එම සේවය ද නිමවා විශ්‍රාම ගියා ය.