By unusuma.lk on
(LK time)එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පැනවූ නව තීරු බදු හේතුවෙන් පැන නැගී ඇති ආර්ථික අර්බුදය සමඟ අවුරුදු බෝනස් දීමනාව කපාහැරීමට මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක කළමනාකාරීත්වය ගත් තීරණයත් සමඟ ඊයේ (08) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.
එම තීරණය දැනුම්දීමත් සමඟ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ප්‍රධානියාව නිවාස අඩස්සියේ තබා ගැනීමට එහි සේවකයන් විසින් කටයුතු කර තිබුනි.
මෙහිදී විරෝධතාකරුවන් ආයතන පිවිසුම් දොරටුව අඟුලු දමා එය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධයේ නියැලුනු බව වාර්තා වේ.
ආයතන පාලන අධිකාරිය විසින් ඊයේ උදෑසන බෝනස් ලබා නොදීමට තීරණය කර ඇති බව දැනුම්දී ඇති අතර, එහිදී ද ආයතන ප්‍රධානීන් සහ සේවකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
විරෝධතාවයට එක්වූ සේවකයින් පවසා ඇත්තේ, අවුරුදු බෝනස් ලබාදෙන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.
පසුව ඇඟලුම් කර්මාන්තශාලාවේ ප්‍රධානීන් විසින් වැලිගම පොලීසියට දැනුම්වත් කිරීම සමඟ විශේෂ පොලිස් ආරක්ෂාවක් ද අදාළ කර්මාන්තශාලාවට යොදවා තිබේ.
එහෙත් අද (09) උදෑසන වනතෙක්ම සේවකයින් ආයතන පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවයේ නියැලුණු බවට වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය දා තීරණය කළේය.
අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අප්‍රේල් 02 වන දින ප්‍රකාශයට පත්කර ඇති අතර එය අප්‍රේල් මස 5 වන දින සිට එම බදු පැනවීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.