By unusuma.lk on [last-modified] (LK time)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් යානා දෙකක් මෙරට ආපදාවෙන් විපතට පත් ජනතාව මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීමට, තවත් මානුෂීය ආධාර තොගයක් රැගෙන ඊයේ (02) රාත්‍රීයේ මෙරටට ළගා විය.
මුදා ගැනීමේ බෝට්ටු දෙකක්, K9 වර්ගයේ සෝදිසි කිරීමේ සුනඛයින් හතර දෙනෙකු, ඩබල් කැබ් සහ SUV වැනි මුදා ගැනීමේ රථ, ට්‍රක් රථ සහ පුද්ගලයන් 53 දෙනෙකුගෙන් සමන්විත විශේෂ නාගරික සෙවුම් සහ මුදා ගැනීමේ (USAR) කණ්ඩායමක් ඇතුළු අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ තොගයක් මෙලෙස පැමිණි C-17 වර්ගයේ ගුවන් යානා දෙකක රැගෙන විත් තිබිනි.
කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් නසීර් අල්අමේරි (H.E. Khaled Nasser AlAmeri) මහතා සහ එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමුද් අල්ෆාරි (Dr. Hamood Alafari) මහතා විසින් මෙම ආධාර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් වෙත බාර දෙන ලදී.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැද පෙරදිග අංශයේ සහකාර අධ්‍යක්ෂිකාවන් වන ඉෂාරා ද සිල්වා සහ දිනුෂිකා දසනායක යන මහත්මීන් විසින් මෙම භාණ්ඩ තොගය බාර ගන්නා ලදී.
ඊයේ සහ පෙරේදා දිනයන්හිදී ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර තොග රැගත් ගුවන් යානා මෙරටට ළගා විය.
මෙම තීරණාත්මක හදිසි අවස්ථාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන කඩිනම් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාව පළ කර ඇත.






