තම සංවිධාන ශක්තිය තාක්ෂණය සමග මුසුකර ගනිමින් ඊයේ (04) එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය.
මෙම අවස්ථාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරල, සභාපති වජිර අබේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, රාජිත සේනාරත්න, නවීන් දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදී දිවයින පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධිකාරකවරුන් පත් කිරීම නිල වශයෙන් සිදු කෙරිණි.
එම කටයුතු සඳහා මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් 1000 දෙනෙකු මෙදින පත් කෙරිණු අතර එමගින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීප වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව නිල UNP ජංගම යෙදුමක්ද ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිත අතර මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහසම්බන්ධතා වර්ධනය කිරීම බලාපොරොත්තු වෙයි.
මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මූලස්ථානයේ Starlink අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදුකෙරේ.

