By unusuma.lk on
(LK time)පසුගිය මාර්තු 27 වන දා පැවති අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සංචාරක කර්මාන්තය මූලික කරගෙන අනුරාධපුරයේ නුවර වැවේ වැව් බැම්ම වාහන ගමනාගමනයට විවෘත කරන ලෙස සංවර්ධන කමිටුවේ සභාපතිවරයා කළ දැනුම් දීමක් පිළිබඳව විමසූ අවස්ථාවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා සහ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර සංවාදයයක් හට ගත්තේය.
සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
“වසර 15ක පමණ කාලයක් තිස්සේ සංචාරක ආකර්ෂණයක් පවතින අනුරාධපුර නුවර වැව වැව් බැම්ම වාහන ගමනාගමනයට අවහිර වන සේ වසා තැබීම නිසා ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් එල්ල වී ඇත. එබැවින් වැව් බැම්ම වසා දැමීමට නිශ්චිතව හඳුනාගත් තාක්ෂණික කාරණයක් නොමැති නම් වැව් බැම්ම වසා තැබීම නොකළ යුතු බවත්, එය කඩිනමින් විවෘත කළ යුතු බවත් කමිටු සභාපතිතුමා කමිටුවට පෙන්වා දෙන ලදී.” (පසුගිය කමිටු රැස්වීමේ වාර්තාව උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය)
“අපට වාරිමාර්ග ඉන්ජිනේරුතුමා කියන්නකො බලන්න මොකක් ද තත්ත්වෙ කියලා?”
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
“මේ සම්බන්ධයෙන් මම වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට මේ කරුණු ඉදිරිපත් කළා. එතුමා මේක පරීක්ෂා කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙසැම්බර් මාසෙ 25 වෙනිදා පැමිණියා. ඇවිල්ලා බලලා ලියුමක් එවල තිබුණා මේක තවදුරටත් විවෘත කරන්න බෑ. නමුත්, සංචාරක කර්මාන්තයට බාධාවක් නොවෙන විදිහට ගේට්ටුවලින් බයිසිකලයක් සහ පයින් යන්න පුළුවන් විදිහට ඉඩක් තියලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. දැනට අපි අවශ්‍ය කටයුතු කරල තියෙනවා.”
සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
“ඒ කියන්නේ බෑ කියන්න හේතුව මොකක් ද?”
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
“නුවර වැව, තිසා වැව වගේ ගත්තොත් මේවා අවුරුදු සිය ගණනකින් විතර ප්‍රතිසංස්කරණය කරල නෑ මේ වැව්වල. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉදිරිපත් කරල තියෙන්නෙ දැනට වැව් බැම්ම හරහා යාමේ ඇක්සස් ලබා දීමට අවශ්‍යතාවක් නෑ කියන කාරණය.”
සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
“ඒක වාරිමාර්ග අධ්‍යක්ෂතුමාට තීරණය කරන්න ඕන නම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් ඕන නෑනෙ. අපට කියන්න ඕන මේක. අලුත්වැඩියා කරල නැත්නම් අලුත්වැඩියා කරන්න ඕනෙ. එහෙනම් අපට එන්න ඕනෙ මේව හදල නෑ, ඒක රෙපෙයාර් කරන්න බැරි නිසා යන්න බෑ. එතකොට තියෙනව කාරණයක්, එහෙනම් රෙපෙයාර් කරල අරිමු.”
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
“මේ වැව් බැම්මේ මුහුණත පළල මදි. අනිත් එක මේකෙ ස්ලෝප් එක ගොඩක් වැඩි යි. ඒ ප්‍රශ්නෙත් තියෙනවා. එතකොට වාහන දෙකක් මාරු වීමේ ගැටලුවක් තියෙනවා. සුළු වශයෙන් ජල කාන්දු තියෙනවා වැව් බැම්මේ.”
සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
“ඒක වහගෙන ඉඳල මොක ද කරන්නේ?”
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
“ඒකෙන් වාහන යාමේ අවශ්‍යතාවක් නෑනෙ ඇත්ත වශයෙන් ම.”
සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
“කවුද ඒක තීරණය කරන්න ඕනෙ? වාහන යාමේ අවශ්‍යතාව තීරණය කරන්න ඕනෙ වාරිමාර්ග අධ්‍යක්ෂතුමා නෙවෙයි. ඕව කැඩුණොත් ආපහු හදන්න තීරණය කරන්න තියෙන්නෙ කාට ද? අපිට ම තමයි. වාරිමාර්ග අධ්‍යක්ෂතුමා තීරණය කරන්න ඕන නම් අපි ඕන නෑනෙ මේක කතා කරන්න. ඒක වැරදියි ඒ ස්ථාවරය.”
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
“වැව් බැම්ම කඩාගෙන ගියොත් එහෙම සහ හදිසියේ මේක රෙපෙයාර් කර ගන්න බැරි වුණොත් අපිට කරන්න දෙයක් නෑ…. වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා දෙන උපදෙස් අනුව තමයි මට කටයුතු කරන්න පුළුවන්.”
සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ:
“ඒ කියන්නෙ ඒක තීරණය කරන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද? දිස්ත්‍රික් සංවර්ධන කමිටුව ද? දැන් අපිට මේක යෝජනාවක් ඇවිල්ල තියෙනවා.”
කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ:
“දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් යෝජනාව ආව නිසා මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට යොමු කළා. නමුත්, වැව් බැම්මෙ ප්‍රශ්න තියෙන නිසා මේක ලබා දීමේ හැකියාවක් නැහැ කියල එවල තියෙනවා. දිස්ක්‍රික් ලේකම්තුමාටත් ඒක යොමු කළා. නමුත් මේ කමිටුව අද දින මේ වැව් බැම්ම විවෘත කරන්න ඉල්ලනවා නම් මම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමාට නැවත ලියල මේකට අවශ්‍ය විශේෂඥ කමිටුවක් දාලා ඇස්තමේන්තුවක් සකස් කරල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරන්නම් අවශ්‍ය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා.”