ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ලොක්කෙක් අත්අඩංගුවට.!

දූෂණ චෝදනා මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයෙකු අල්ලස් කොමිසම විසින් (12) අත්අඩංගුවට ගෙන ඇත.

සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදා තිබියදී එම මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුලී ගෙවීමේ පදනම මත ප්‍රාඩ්‍රෝ වර්ගයේ ජීප් රථයක් ලබාගෙන එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමකින් තොරව කුලී මුදල් වශයෙන් රුපියල් 12,750,000ක මුදලක් ගෙවීම මගින් රජයට පාඩු කරන ලදැයි සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

පෞද්ගලික ආයතනයකින් එකී වාහනය සපයා ගැනීමේ අරමුණින් ප්‍රසම්පාදන රීති නොසලකා හරිමින් එම කටයුතු සිදුකර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර වාහනය නිසි ලෙස භාරගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනාද සැකකරුට එල්ල වී ඇත.

ඒ අනුව එකී චෝදනා මත මෙම හිටපු සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (20) වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments