මෛත්‍රීපාල සමාව දුන් මිනීමරුවා සිංගප්පූරුවෙන් පනී.!

ආන්දෝලනාත්මක රෝයල් පාර්ක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වී පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිරිනැමූ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමෙන් අනතුරුව රටින් පිටවූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වනවිට සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් ලංකා රජයට දැනුම්දී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිරිනැමූ ජනාධිපති සමාව යටතේ නිදහස් කළ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මේ බව දැනුම් දුන්නේය.

මෙම වගඋත්තරකරු සිංගප්පූරුවේ සිටින බවට මුලින් ලැබුණු තොරතුරුවලට අනුව මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවද රජයේ නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

එහෙත් ඔහු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද රජයේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

කෙසේ වෙතත් එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා සඳහන් කළේ, මෙම නඩු තීන්දුව නිකුත්කොට වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණද මෙම වග උත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

අදාළ පෙත්සම ජූලි (28) වැනිදා කැඳවීමට නියම කළ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එදින මෙම කටයුතු වල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments