By unusuma.lk on
(LK time)26 වැනි ASEAN කලාපීය ආරක්ෂක විශ්ව විද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් සභාව අමතමින් වත්මන් ගෝලීය විෂමතාවයන්ට අනුගත වීම සහ කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ආරක්ෂක අධ්‍යාපනයේ තීරණාත්මක කාර්යභාරය පිලිබඳ අවධාරණය කළේය.
කීර්තිමත් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සමුළුව කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පවත්වනු ලබයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහි සමාරම්භක දිනයේ ප්‍රධාන දේශනය පවත්වමින්, කලාපය තුල විකාශනය වන ආරක්ෂක අභියෝග සහ එම අභියෝගයන්ට මුහුණ දීම සඳහා උපාය මාර්ගික නවෝත්පාදනයක අවශ්‍යතාවය පිළිබඳ කලාපීය ආරක්ෂක ක්ෂේත්රය හා සබැඳි ප්‍රමුඛතා කිහිපයක් ගෙන හැර දක්වමින් ඉදිරිපත් කළේය.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ද මෙම අවස්ථාවට සහභාගී විය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති, රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් අද එම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබීය.
නුතන තාක්ෂණය, භූ දේශපාලනික විචල්‍යතාව සහ ආරක්ෂක පසුබිම ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ නැගී එන අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය පරිදි ආරක්ෂක අධ්‍යයන ක්‍රියාවලිය පෙළ ගැස්වීමේ වැදගත්කම එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. තවද, කලාපීය වශයෙන් පොදු ආරක්ෂක ගැටළු විසඳීමේදි කලාපීය රටවල අන්තර් සහයෝගීතාවයේ වැදගත්කම ද ඔහු ඉස්මතු කළේය.
මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) විසින් සිය දේශනය අතරතුර තවත් වැදගත් අංගයක් වෙත අවධානය යොමු කරමින්, ආරක්ෂක අංශවල සාමාජිකයන් විසින් නවෝත්පාදනයන් පෝෂණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
විශේෂයෙන් එම නවෝත්පාදන හමුදාමය යෙදවුම් සඳහා පමණක් නොව සිවිල් ජන සමාජයේ ද භාවිතයට ගත හැකි තාක්ෂණික ක්‍රම වේදයන්ට අනුකුලව නිර්මාණය කිරීමේ වැදගත්කම ඉස්මතු කළේය. එමෙන්ම, දේශගුණික විපර්යාස, ආන්තික කාලගුණික තත්වයන්, යුද ගැටුම්, ජල හිඟය සහ ආහාර අනාරක්ෂිතතාව වැනි ගැටළු කලාපීය සමාජීය ස්ථාවරත්වයට මෙන්ම, සෞඛ්‍ය ගැටළු බොහොමයකට හේතු විය හැකි බවද සඳහන් කළේය.
එවැනි ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් පැවැත්වෙන අර්ථවත් ගෝලීය සංවාද සඳහා දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකාවේ කැපවීමද ඔහු යළිත් තහවුරු කළේය.
26 වැනි ASEAN කලාපීය ආරක්ෂක විශ්ව විද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව, “Defence Education in an Era of Transition.” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකාවේ කොළඹ දී නිල වශයෙන් ආරම්භ වූ අතර, ජනවාරි (22) සිට (25) දක්වා පැවැත්වෙන මෙම සමුළුවට කලාපයේ ප්රමුඛ ආරක්ෂක අධ්‍යයන ආයතන රැසක නියෝජිතයන් හා විෂයානුබද්ධ විද්වතුන් විසින් එකී තේමාවට අදාලව අදහස් හුවමාරු කර ගනිමින් සාකච්ඡාවල නිරත වනු ඇත.
මෙවර පැවැත්වෙන කලාපීය ආරක්ෂක විශ්ව විද්‍යාල, විද්‍යාල සහ ආයතන ප්‍රධානීන්ගේ සමුළුව සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ කාම්බෝජ රාජධානියේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් සම සත්කාරකත්වය දරනු ලබන අතර, ඒ ඔස්සේ කලාපයේ ප්රමුඛ ආරක්ෂක ආයතන, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සමීප සහයෝගීතාව වර්ධනය කරමින් විකාශනය වන ආරක්ෂක භූ දර්ශනයට අනුගත වන පරිදි ආරක්ෂක අධ්‍යාපනය සහ නවෝත්පාදනයන් පෙළගැසී ඇති බව සහතික කිරීමේ සන්ධිස්ථානයක් ලෙස දැකිය හැකිය.
විදෙස් රටවල් නියෝජනය කරමින් මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය, ලාඕසය, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය, නැගෙනහිර ටිමෝරය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජපානය, නවසීලන්තය, රුසියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය යන රටවල මෙන්ම, ශ්‍රී ලංකාවේ ද නියෝජිතයින් රැසක් මෙම සමුළුවට සහභාගී වේ.
එමෙන්ම, මෙම සමුළුවේ ගෝලීය වැදගත්කම තවදුරටත් තහවුරු කරමින් විදෙස් රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, විද්වතුන්, ශාස්ත්‍රීය ආයතන ප්‍රධානින්, ආරක්ෂක විශේෂඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ද විශාල පිරිසක් සහභාගී වේ.