By unusuma.lk on [last-modified] (LK time)
පැවැති අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ නේවාසික එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ පොරොන්දු විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ අතර හමුවක් අද (08) අමාත්‍යංශයේ සිදුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.
මෙම ආපදාවෙන් විපතට පත් සියලු ජනතාව සඳහා වහාම එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළ අතර එම මුදල සංකේතාත්මකව පිරිනැමීම ද සිදු කළේය.
එක්සත් ජාතීන් කරනු ලබන ආධාර යටතේ ආහාර සුරක්ෂිතතාවය, නිවාස, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.
මේ සඳහා විස්තරාත්මක ඇගැයීමක් සිදු කිරීම පිණිස දැනමටත් OCHA සංවිධානයේ 05 දෙනෙකෙුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් දැනුම් දුන්නේ ය.
මේ සියලු කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ ප්‍රකාශ කළේය.
ආපදාව නිසා රටේ ජනජීවිතය, ආර්ථිකය, කෘෂි කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්රවල ඇති වූ බලපෑමෙන් යළි ගොඩනැගීම් ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තරයේ අඛණ්ඩ සහාය අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ආධාර ලබා දෙන රටවල් සමඟ කටයුතු කිරීමට නිව්යෝර්ක් සහ ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල හරහා කටයුතු කරන බවටත් මාර්ක් ඇන්ඩෘෘ එකඟතාව පළ කළේය.






