රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරු අමතමින් සංශෝධිත අධිචෝදනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේදැයි ප්‍රශ්න කළ අතර එහිදී විත්තියේ නීතිඥවරු දැනුම් දුන්නේ ඒ සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී විරෝධතා මතු කිරීමට අපේක්ෂා කරන බවයි.
අනතුරුව මෙම නඩුව විභාගය සඳහා අප්‍රේල් මස (29) වනදා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළේය.
පසුගිය 2014 අගෝස්තු (01) වනදා සිට නොවැම්බර් (01) වනදා දක්වා කාල සීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදු දීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

