ශ්‍රී ලංකාව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුමක් එළිදක්වයි.!

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF), නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම් (2026-2030) ඊයේ (28) දින නිල වශයෙන් දියත් කරන ලදී.

මෙහි අරමුණ වන්නේ සියලු ආකාරයේ තැනැත්තන් වෙළඳාම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති දැඩි කැපවීම යළි තහවුරු කිරීම සහ සම්බන්ධීකරණය කරන ලද ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමයි.

ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම නව උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම දියත් කිරීමේ නිල උත්සවය පැවැත්විණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නීතිපති ගරු පාරින්ද රණසිංහ මහතා, ආරක්ෂක ලේකම් සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ මෙහෙයුම් ප්‍රධානී Kristin Parco මහත්මිය ද සහභාගී වූහ.

තවද, රජයේ ප්‍රධාන ආයතන 23ක් නියෝජනය කරන කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ Entities and Civil Society සංවිධානයේ (CSOs) නියෝජිතයින් පිරිසක් ද මීට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය,

“ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට ගොදුරු වූවන් රැකබලා ගැනීම සඳහා එම වින්දිතයන්ගේ ක්ෂණික ආරක්ෂාව සහ දිගු කාලීන පුනරුත්ථාපන ක්‍රියාවලිය යන දෙඅංශයම ආමන්ත්‍රණය කරන පරිපූර්ණ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී සහ වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අවශ්‍ය වේ.

මෙයට ආරක්ෂිත නවාතැන්, වෛද්‍ය ප්‍රතිකාර සහ ඔවුන් මුහුණ දුන් තත්ත්වයන් හේතුවෙන් ඇති විය හැකි පසුකම්පන තත්ත්වයන්ට අදාළව මනෝ විද්‍යාත්මක මාර්ගෝපදේශන සැලසීම ආදී පුළුල් පරාසයක ප්‍රවේශයක් ඇතුළත් වන අතර, වඩාත් දරුණු ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. එසේම නැවත ජාවාරම් වලට ගොදුරු වීම වැළැක්වීම සඳහා නීතිමය සහාය, ආර්ථික සවිබල ගැන්වීම සහ කුසලතා සංවර්ධනය ද අවශ්‍ය වේ.” යනුවෙන් ප්‍රකාශ කළාය.

මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලසුම එළිදක්වන ලද්දේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රයත්නයන් සඳහා උපාය මාර්ගික මඟපෙන්වීම, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සඳහා වග කියනු ලබන ජාතික බහු – පාර්ශවීය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණු කොට ගෙනය.

ආරක්‍ෂක ලේකම් සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) මෙසේ සඳහන් කළේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ පුළුල් දැක්මට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශය මිනිස් ජාවාරම හුදෙක් සමාජීය හෝ අපරාධමය ප්‍රශ්නයක් ලෙස පමණක් නොව, ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන විශාල ගැටලුවක් ලෙස ද හඳුනාගෙන ඇති බවත්, එය සමාජ ස්ථාවරත්වය දුර්වල කරන අතර සංවිධානාත්මක අපරාධ සඳහා ද පසුබිම සකස් කරන බවත්ය. එබැවින් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේදී විනය, වගවීම, අනුකූලතාවය සහ විනිවිදභාවයෙන් යුතුව මෙහෙයවන බව ද, ඔහු අවධාරණය කළේය.

සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) තාක්ෂණික සහය ඇතිව සකස් කරන ලද තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ 2026-2030 ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම, නීති විරෝධී තැනැත්තන් වෙළඳාම වැළැක්වීමට, වින්දිතයින්ට අවශ්‍ය ආරක්ෂාව සහ සහාය ලබා දීමට, නීතිය බලාත්මක කිරීමේ ප්‍රතිචාර ශක්තිමත් කිරීමට සහ ඒ වෙනුවෙන් වග වීම ශක්තිමත් කිරීමට ඒකාබද්ධ ජාතික රාමුවක් ස්ථාපිත කරයි. මෙම ක්‍රියාකාරී සැලසුම, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්ව සිදු කරන ලද පුළුල් උපදේශන මත පදනම් වී ඇත.

තවද, සයිබර් අවකාශය හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම සහ කෘතිම බුද්ධිය (AI) අවභාවිතා කරමින් සිදු කරන නීතිවිරෝධී බඳවා ගැනීම් වැනි නැගී එන අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

එහිදී අදහස් දැක්වූ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මෙහෙයුම් ප්‍රධානී Kristin Parco මහත්මිය, දශකයකට වැඩි කාලයක් IOM ආයතනය ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කර ඇති අතර, මෙම ක්‍රියාකාරී සැලසුම සැකසීමට සහ ජාතික පද්ධතීන් ශක්තිමත් කිරීමට සහාය වීමට ලැබීම ගෞරවයක් බවද ප්‍රකාශ කළාය.

ඒ අනුව නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම් ප්‍රධාන කුළුණු හතරක් වටා ව්‍යුහගත කර ඇත.

  • *ප්‍රජා දැනුවත් කිරීම් සහ අවදානම් අවම කිරීමේ පියවර හරහා වැළැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.
  • *පුළුල් සහායක සේවාවන් ඇතුළුව වින්දිතයා කේන්ද්‍ර කරගත් ආරක්ෂාව සහ සහාය සැලසීමේ ක්‍රියාවලිය සිදු කිරීම.

*අන්තර් නියෝජිත ආයතන සම්බන්ධීකරණය සහ අනෙකුත් රටවල් සමඟ දේශ සීමා සහයෝගීතාවය පවත්වා ගනිමින් නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් සම්බන්ධයෙන් විමර්ශන සහ ඊට අදාළව නඩු පැවරීම් ශක්තිමත් කිරීම.

  • *සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ හවුල්කාරිත්වය ඇති කර ගනිමින් මීට අදාළ ප්‍රතිපත්ති, දත්ත සහ ජාතික සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම.

මෙම සැලසුම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා IOM ආයතනය, ශ්‍රී ලංකා රජය සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය සමඟ සමීපව කටයුතු කරනු ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments