නිරෝෂන්ගෙන් බිලියනයක වන්දි ඉල්ලා ඇමති නලින්දගෙන් එන්තරවාසියක්.!

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක වෙත රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇත.

2026 පෙබරවාරි (01) වැනිදා හෝ ඒ ආසන්න දිනකදී නිරෝෂන් පාදුක්ක විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව මෙම එන්තරවාසිය යොමු කර ඇත.

මාධ්‍ය සාකච්ඡාවේදී නිරෝෂන් පාදුක්ක විසින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශය පහතින් දැක්වෙයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙරට අසාධු ලේඛනගත (Blacklisted) ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිතා කර ඇති බවත් එම ණය කාඩ්පත භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහාම කරුණු හෙළි කළ යුතු බවත් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

නිරෝෂන් පාදුක්ක විසින් එල්ල කරන එම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සිය නීතිඥවරයා මාර්ගයෙන් අවධාරණය කර ඇත.

අමාත්‍ය නලින්ද ජයතිස්සගේ කීර්ති නාමයට මින් දැඩි හානියක් සිදුව ඇති බැවින් එම අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් මෙම එන්තරවාසියේ දින සිට (2026.02.02) දින 14ක් ඇතුළත ගෙවන ලෙස නිරෝෂන් පාදුක්කට දැනුම් දී ඇත.

තවද එම ගෙවීම පැහැර හැරියහොත් නීතිමය පොලිය සහ නඩු ගාස්තු සහිතව එම මුදල අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම ලේඛනය මගින් නිරෝෂන් පාදුක්කට දැනුම් දී ඇත.

7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments