හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද (09) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාර ඩේසි ෆොරොස්ට් නමැත්තිය නඩු විභාගයකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවාද යන කාරණය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් කැඳවා ඇති විශේෂඥ වෛද්‍ය වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු එම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව යළි අප්‍රේල් මස (24) වනදා කැඳවීමට නියම කළේය.
උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ රුපියල් මිලියන 59 කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම් වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

