පැසිෆික් නාවික බල ඇණියේ ප්‍රධානියා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි.!

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් නාවික බල ඇණියේ අණදෙන නිලධාරී, අද්මිරාල් Stephen T. Koehler අද (19) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

එහිදී පැවති සුහද සාකච්ඡාවේදී ඉන්දීය සාගර කලාපයේ විකාශනය වන ආරක්ෂක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, සාගර කලාප ආශ්‍රිතව ඇති වෙමින් පවතින අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය දෙපාර්ශ්වයේ නිලධාරීන් විසින් යළිත් තහවුරු කරන ලදි.

සාගර කලාපිය දැනුවත්භාවය ඉහළ නැංවීම, තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම මෙන්ම ස්වභාවික ආපදා සහ මානුෂීය ආධාර අවශ්‍ය කෙරෙන හදිසි අවස්ථාවන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කරනු ලැබීය.

නීති විරෝධී ජාවාරම් මෙන්ම අනෙකුත් නූතන ආරක්ෂක තර්ජන මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට ඇමරිකා එක්සත් ජනපද දුත පිරිස මෙහිදී යළි තහවුරු කළහ.

එමෙන්ම, පුහුණු හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ ක්‍රියාකාරකම් හරහා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවන් ශක්තිමත් කිරීම පිළිබඳව ද, දෙපාර්ශවය විසින් කරුණු සමාලෝචනය කරන ලදි.

ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන දිගුකාලීන සහයෝගය සහ පරිත්‍යාගයන් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා එහිදී සිය කෘතඥතාව පළ කළේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්හි ධාරිතාවන් ශක්තිමත් කිරීම සඳහා TH-57 Sea Ranger හෙලිකොප්ටර් යානා 10 ක් සහ B – Type Reliance පන්තියට අයත් අඩි 210 ක දිගින් යුත් ‘කටර්’ (Cutter) වර්ගයේ යුද නෞකාවක් ලබා දීම මෙන්ම දිවයිනට බලපෑ “දිත්වා’ සුළි කුණාටු තත්ත්වයේදී විවිධ ආපදා සහන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ලබා දුන් විශිෂ්ඨ සහයෝගය ද මෙහිදී ඇගයීමට ලක් කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments