පසුගිය සමයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට විශාල මුදලක් අහිමි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ආදායම් රැස්කිරීම පිළිබඳව කරුණු විමසූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.
කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි කඩ සාප්පු වල බදු ගිවිසුම් යාවත්කාලීන නොකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර විසින් කරුණු රැසක් අනාවරණය කළේය.
“කඩ සාප්පු පිහිටි ප්‍රදේශය මාලිගාවත්ත. කඩ සාප්පු 113ක් පසුගිය දෙසැම්බර් (31) දින වනවිට හිඟ කුලිය රුපියල් මිලියන 12කට වැඩියි. කඩ සාප්පු 2ක් රුපියල් 100කටත් වඩා අඩු මුදලකටද, තවත් කඩ සාප්පු 37ක් රුපියල් 100ත් 1,000ත් අතර කුලියකටද,
තවත් කඩ සාප්පු 38ක් රුපියල් 1,000ත් 5,000ත් අතර කුලියකටද බදු දී ඇත. තවද කඩ සාප්පු 52ක බදු ගිවිසුම් කාලය අවසන් වී වසර 1 සිට 35 දක්වා දීර්ඝ කාලයක් ගත වී ඇත. මේ මාලිගාවත්තේ කඩ සාප්පු ගැන කියන්නේ. මේ විගණන නිරීක්ෂණ වලට අනුව කඩ සාප්පු දෙකක් තවම යන්නේ රුපියල් 100කට වඩා අඩු කුලියකට.”
මෙලෙස වංචනික ලෙස කටයුතු කළ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සේවය මේ වන විටත් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල සඳහන් කරයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනුරාධ කිරලවැල්ල සඳහන් කළේ,
“එම බදු ගිවිසුම් යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් අපිට නිලධාරීන්ටම වරද පටවන්න අමාරුයි. මෙතන තුන් ආකාරයකින් බලපෑම් මත තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා අපිට පැහැදිලි වෙලා තියෙනවා. දේශපාලන බලපෑම. දෙවැනි කාරණය තමයි, පාතාල තර්ජන සහ යම් යම් දුෂිත නිලධාරින්ගේ ක්‍රියාකලාපය.”
