මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වන නීතී කෘත්‍ය අද (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුකෙරුණි.
මීගමුව බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සිදුකළ විමර්ශන වලදී සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (14) අනාවරණ කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 01 විමර්ශන නිලධාරින් සඳහන් කළේ,
“ස්වාමිනි, මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැදවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්යබලකා නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊට අනුව සිදුවීම වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිට ඇති මුළු රැඳවියන් ගණන 2417ක්. බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 166 දෙනෙකුත් සිට තිබෙනවා. නොසන්සුන්තාවයට මුල්වූ පළමු සිදුවීම වෙලා තියෙන්නේ ජුලි (05) වනදා.
සාමාන්‍යයෙන් රැඳවියන්ට ශාරීරික ව්‍යායාම් කරන්න විනාඩි 30ක කාලයක් ලබාදෙනවා. මෙදින A(1) වාට්ටුවේ රඳවා සිටි කටුවැල්ලේගම සුරේෂ් නම් රැඳවියා තමන්ට ව්‍යායාම් සඳහා වැඩි කාලයක් ලබාදෙන්නැයි ඉල්ලා බන්ධනාගාර නිලධාරීයෙකුට පරුෂ වචනයෙන් බැන මරණ තර්ජන කර තිබෙනවා. පසුව එදින A(1) වාට්ටුවේ දොර විවෘත කළ අවස්ථාවක සුරේෂ් නැමැති මේ රැඳවියා වාට්ටුවෙන් පිටතට පැන 02 වාට්ටුවේ සිටි රැඳවියන් පිරිසකට පහරදී තිබෙනවා. මෙය තමයි නොසන්සුන්තාවයට මුල් වූ සිදුවීම.
මෙහිදී මුල් අවස්ථාවේ රැඳවියන් දෙදෙනෙකුත් පසු අවස්ථාවක තවත් අයෙකුත් ලෙස රැඳවියන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. 36 දෙනෙක් රෝහල්ගත කරලා. එය කලහකාරී ලෙස දිග්ගැස්සිලා බන්ධනාගාර ඖෂධ හලට හා පරිපාලන ගොඩනැගිල්ලට රැඳවියන් අලාභහානි සිදුකර තිබෙනවා. බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිල්ලත් රැඳවියන්ගේ භාරයට පත්වෙලා. 05 වෙනිදා සවසම බන්ධනාගාර නිලධාරීන් පොලිසියට දැනුම්දීලා ආරක්ෂාව ඉල්ලලා තියෙනවා.
මීගමුව මූලස්ථාන පොලිස් නිලධාරීන් පැමිණියත් තත්ත්වය මුලුමනින්ම පාලනය කරගැනීමට නොහැකි වූ නිසා බන්ධනාගාර මූලස්ථානයේ සිට හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන් 89 දෙනෙකු මීගමුව බන්ධනාගාරයට කැඳවා තිබෙනවා. (05) වෙනිදා රාත්‍රියේත් රැඳවියන් වහලය උඩට නැගලා සංවිධාන වෙමින් කලහකාරීව හැසිරුණු බවට සාක්ෂි ලැබී තිබෙනවා. පසුදින උදෑසන ආහාරය දීමට බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේ යළි නොසන්සුන්තාවය ඇතිවී තිබෙනවා.
ඇතැම් රැඳවියන් සර්ලාට ගහන්න ඉන්නේ සර්ලා යන්න කියලා බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා. පෙරවරු 10.30ත් 10.50ත් අතර කාලයේ නොසන්සුන්තාවය ගැටුම්කාරී තත්ත්වයක් කරා වර්ධනය වෙලා. තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකායේ නිලධාරීන්ද බන්ධනාගාරය ඇතුළට ගිය ආවස්ථාවේදී රැඳවියන් සංවිධානාත්මකව ගල්මුල්, පොලුමුගුරු, ව්‍යායාම් උපකරණ යකඩ කොටස්වලින් අමානුෂික ලෙස පහරදී තිබෙනවා.
ගැටුම මැද මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් බන්ධනාගාරයෙන් පිටතට පැමිණියත් බන්ධනාගාරයේ පිහිටීම පිළිබඳ අවබෝධයක් නොමැති, කොළඹින් පැමිණි නිලධාරීන්ට පිටතට ඒමට හැකියාව ලැබී නැහැ. පළමු දිනයේ නොසන්සුන්තාවය ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ අවි ගබඩාවේ එක් පැත්තක අවි ඉවත්කරලා තියෙනවා. නමුත් අනික් කොටසේ අවි ගැටුම අතරතුර රැඳවියන් අතට පත්වෙලා. නොසන්සුන්තාවය අතරතුර බන්ධනාගාරයේ ඇතුළු පැත්තේ සිට නිලධාරීන්ට ගිනිඅවියක් එල්ල වී තිබෙනවා.
එම අවස්ථාවේදී තමයි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කඳුළු ගෑස් එල්ල කර තිබෙන්නේ. එත් මෙල්ල නොවුන නිසා අහසට වෙඩි තබා තිබෙනවා. එයිනුත් මෙල්ල නොවුන අවස්ථාවේ තමයි නිලධාරීයෙක් බන්ධනාගාර දොරටුවේ කුහරයෙන් ඇතුළට වෙඩි තබන්නේ. ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බන්ධනාගාරයට ඇතුල් වූ විට කොළඹින් ගිය නිලධාරීන් බිම වැටී සිටින අයුරු දැක තිබෙනවා.”
“ස්වාමිනි, සිදුකළ වැඩිදුර විමර්ශනයේදී T58 ගිනිඅවියක් සහ මැගසින් එකක් බන්ධනාගාර අභ්‍යන්තරයෙන් හමුවුණා. එසේම බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සොයාගෙන තිබෙනවා. විමර්ශනයට අදාළව මේ වෙද්දි මීගමුව බන්ධනාගාර නිලධාරීන් සතුව පැවති ගිනිඅවි 50ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් ගිය නිලධාරීන් සතු ගිනිඅවි 10ක් ලෙස මුළු ගිනිඅවි 60ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් බන්ධනාගාරයට වූ අලාභය පිළිබඳ වාර්තාවක් කැඳවියයුතුව තිබෙනවා. බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළ DVR දෘඩ තැටි 02ක් අපි නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒවා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමුකර වාර්තාව කැඳවිය යුතුයි. මේ විමර්ශනයට අදාළව අප නීතිපතිවරයාගේ සහාය ඉල්ලා තිබෙනවා.
දැනට දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙන්ම, තුවක්කු ආඥා පනත හා පොදු දේපළ පනත යටතේ වන වරද සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යනවා.විමර්ශන අවසානයේදී සැකකරුවන් නම් කිරීමට බලාපොරොත්තු වෙනවා.“
එම නොසන්සුන්තාව ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 2,417 දෙනාගෙන්ම ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
