හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී “වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගෙන” සිටියදී අද (17) දින හමුවිය.
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගේ දේහය මේ වනවිට මුල්ලේරියාව රෝහලේ තබා ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලඹේ පොලිසිය කණ්ඩායම් දෙකක් යොදවලා විමර්ශන කටයුතු සිදුකරන බවත් එම අවස්තාවේදී පවුලේ සාමාජිකයින් නිවසේ සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.
2019 පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසුව සී.ඩී වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළේය.
2020 වසරේ නොවැම්බර් මස (27) වනදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න පත් කරනු ලැබීය.
2022 වසරේ මෙරට ඇතිවූ අරගලය සමයේදී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න වසර තුනක කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 2023 වසරේ මාර්තු මස (25) වනදා ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණේය.
එහෙත් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පොලිස්පතිවරයෙකු පත් කෙරෙන තෙක් තවත් මාස 8කට ආසන්න කාලයකට ලබාදුන් සේවා දිගුවට යටත්ව සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධූරයේ රාජකාරි ආවරණය කළේය.
අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමෙන් පසු 2023 නොවැම්බර් මස සී.ඩී වික්‍රමරත්න නිල වශයෙන් පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තේය.
විශ්‍රාම ගැනීමෙන් පසු මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයා තම ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවියෙන් වෙඩි තබාගෙන අද උදෑසන සියදිවි හානිකරගෙන ඇත.

