Advertisements

චරිත් – රඛිත පොලිස් ලොක්කන්ට අල්ලස් දෙයි.. අතරමැදි හිමිනම කවුද.?

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුණහැන්දිගේ ලබන (28) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙහිදී අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සඳහන් කළේ, නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් පිළිබඳව තවත් අල්ලස් සිද්ධියකට අදාළව පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

මෙහිදී විමර්ශනයට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම සඳහන් කළේ, මෙම අල්ලස් ගනුදෙනුවේදී පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු හටද අල්ලස් මුදල් ලබාදී ඇති බවයි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම සඳහන් කළේ,

ස්වාමීණි.. මෙම අල්ලස් මුදල් ලබා ගැනීමේදී පොලිස් නිළධාරීන් තිදෙනෙකු හටද මුදල් ලැබී ඇති බව අණාවරණය වී තිබෙනවා. මෙම පොලිස් නිළධාරීන් හට අල්ලස් මුදල් ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එම ස්වාමීන් වහන්සේ පිළිබඳව කරුණු අණාවරණය වී තිබෙනවා. ඒ පිළිබඳව තවදුරටත් නිශ්චිත ලෙස කරුණු තහවුරු කර ගැනීමට අවශ්‍යයි.

ස්වාමිණී.. පෙර අධිකරණ නියෝග අනුව හරක් කටාගේ බිරිඳ වන පැමිණිලිකාර මධුෂිකා මධුවන්ති යන අය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සියලුම කරුණු ඇතුලත් කර ඇය විසින් පටිගත කරන ලද විඩීයෝවක් අල්ලස් කොමිසමට ලබාදී තිබෙනවා. තවද මෙම දෙවන සැකකරු සමග ගණුදෙනුව සාකච්ඡා කළ දුරකථනය සහ අදාල සංවාදයන්හි පටිගත කරන ලද දුරකථන රෙකොඩ් ද ඇය විසින් අල්ලස් කොමිසමට ලබාදී තිබෙනවා.

ස්වාමීණී.. මේ අල්ලස් ලබාගැනීමේ සිදුවීමට අදාළව නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා මුලින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වුණා මේ පළමු සැකකාර චරිත් අබේසිංහ අල්ලස් මුදල පිළිබඳ කතා කරගැනීමට දුන් දුරකථන ඇමතුම ඉන්දියාවේ සිට ලබාගත් බවත්, එම අවස්ථාවේ අනිත් සැකකරුවන් දෙදෙනාද ඔහු සමඟ සිටින බව චරිත් අබේසිංහ පැවසූ බව.”

ඒ අනුව ඒ පිළිබඳ සිදුකළ විමර්ශනයේදී අනාවරණය වුණා මෙම සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු මස (03) වනදා එකම ගුවන් යානයකින් ඉන්දියාවට ගිහිල්ලා නැවත තිදෙනාම එකට 2023 මාර්තු (07) වනදා දිවයිනට පැමිණ ඇති බව. එමෙන්ම හර්බි නැමැත්තා සහ මෙම සැකකරුවන් තිදෙනාගේ දුරකතන වාර්තා විශ්ලේෂණය කරපුවාම තහවුරු වුණා හර්බි නැමැත්තා කියන කතාව සත්‍යය බව.”

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම සැකකරුවන් සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ජුලි මස (28) වනදා ලබාදීමට දින නියම කළේය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest