භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය.. නව ගැසට් නිවේදනයක්

අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර විසින් භික්ෂූන් වහන්සේ නමක බන්ධනාගාරගත කිරීමේදී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැනුවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කර ඇති අතර යම් භික්ෂූන් වහන්සේ නමක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේ ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කළ යුතුයි.

අදාළ නිකාය හෝ පාර්ශ්වය විසින් සිවුරු ඉවත් කිරීම පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග දින දහයක් ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු අතර එම කාලසීමාව තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

සිරගත කෙරුණු භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් මුදාහැරෙන අවස්ථාවක, බන්ධනාගාරගත කළ අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර ලබාදිය යුතු අතර අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් එලෙස සිවුරු ඇඳ සිටීමට අනුමැතිය ලබාදී නොමැති නම්, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අදාළ නියෝග අනුව කටයුතු කළ යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.

නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ලබාගත යුතු අනුමැතිය සඳහා, බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් සිරගත කළ දිනයේ සිට වැඩ කරන දින හතක් (07) ඇතුළත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒ බව දැන්විය යුතුයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel