මීගමුව බන්ධනාගාරය තුළදී නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් ඝාතනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධයක් සිදුව ඇති බව තම අධිකරණය නිරීක්ෂණය කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීගමුව මහේස්ත්රාත් ශිලනි පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
එම බන්ධනාගාර සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සහ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මරණ පරීක්ෂණ නියෝගය ප්රකාශයට පත් කරමින් මහේස්ත්රාත්වරිය (23) දින මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.
එම මරණ ගිනි අවි, රයිෆල් වර්ගයේ ගිනිඅවි සහ මොට ආයුධ වලින් එල්ල කරන ලද පහරදීම් හේතුවෙන් සිදුව ඇති බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරිය, හිසට සහ පපුවට එල්ල වූ වෙඩි ප්රහාර මෙන්ම උදරය සහ උකුල් ප්රදේශ වලට එල්ල කළ පහරදීම් නිසා අභ්යන්තර ඉන්ද්රියයන්ට රුධිරය වහනය වීම මරණ වලට ප්රධාන හේතුව ලෙස අධිකරණය හමුවේ තහවුරු වී ඇති බව සඳහන් කළාය.
අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වා ඔක්තෝබර් (29) වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
එහිදී එම සිදුවීමට අදාළව පිරිමි පුද්ගලයන් 81 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු වශයෙන් සැකකරුවන් 106 දෙනෙකු මේ වනවිට නම් කර හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.
එම සිද්ධියට අදාළ ගිනි අවි, රුධිර සාම්පල මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණ පිළිබඳ කිසිදු රස පරීක්ෂක වාර්තාවක් මෙතෙක් විමර්ශන අංශ වෙත ලැබී නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, නම් කර ඇති සැකකරුවන් 106 දෙනාම එළඹෙන ඔක්තෝබර් (29) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
