සත්‍යග්‍රහය අකුලාගෙන යන්න වුණු විශේෂ ලිපිය

ගලගොඩඅත්තේ ඥනසාර හිමි වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවල නිරත මහා සංඝ රත්නය වෙත ශාසනාලයෙන් සිදුකළ කාරුණික දැනුම්දීම.

“ශ්‍රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජයීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පුජෝපහාරයට පාත්‍ර වන ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේය. එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි.

එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති සංවේදී වාතාවරණය හමුවේ ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිර සම්බන්ධ උක්ත ගැටලුව නීත්‍යනුකූල හා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්‍ය මැදිහත් වීම සිදු කර ඇත්තෙමු.

දැනට මෙම සිදුවීම සමන්ධයෙන් සිදු කරන ඇතැම් විරෝධතා දැක්වීම් පාදක කරගනිමින් ශ්‍රී ලාංකේය සමාජය තුළත්, ජාත්‍යන්තරය හමුවේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්ති නාමය පළුදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන අතර ඒ සඳහා ඉඩ නොතැබීමට සමස්ත භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතුය.

තවද, කිනම් අර්බුදයක් හමුවේ වුවද ශාසනික විනය හා සංඝ සාමග්‍රිය ආරක්ෂා කරමින්, එකී අර්බුද ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම මහා සංඝ රත්නය ලෙස අපගේ පරම වගකීම විය යුතු බව දන්වා සිටිනු කැමැත්තෙමු.

එහෙයින් ශාසන බ්‍රහ්ම චර්යාවේ උදාර අරමුණත් ඓතිහාසික භික්ෂු භුමිකාවේ සාමාජීය කාර්යභාරයත් නිරන්තරයෙන් මෙනෙහි කරමින් “අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්‍යොභාවය” යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝ රත්නයට මෙයින් සිහිපත් කර සිටිම්හ.”

Screenshot
0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel