ලංකාවේ වංචා හොයන්න අමෙරිකාවේ FBI කණ්ඩායමක් දිවයිනට

මෙරට ක්‍රියාත්මක ඔන්ලයින් (Online) වංචා ජාල මර්දනය සඳහා දේශීය විමර්ශකයින් සමග එක්වී කටයුතු කිරීමට අමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) මෙරටට පැමිණීමට නියමිතය.

සයිබර් තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන වංචා මැඩලීමටත්, දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන අපරාධ ජාලවල මෙහෙයුම් අඩපණ කිරීමට අමෙරිකාව, ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ඇත.

ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීමක් මත, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් (Charlotte) ක්ෂේත්‍ර කාර්යාලයට අනුයුක්ත විශේෂ කණ්ඩායමක් ඊයේ (16) දින සිට ලබන (22) වනදා දක්වා මෙරට රැඳෙමින් අදාළ කටයුතුවල නිරත වේ.

දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා සහාය වීම, විශේෂිත තාක්ෂණික දැනුම ලබා දීම සහ දේශසීමා ඉක්මවා ක්‍රියාත්මක වන වංචා ජාල හඳුනාගෙන ඒවායේ ක්‍රියාකාරකම් අඩපණ කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ හැකියාව ශක්තිමත් කිරීම මෙම විශේෂ සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

මෙම සංචාරය අතරතුර FBI නිලධාරීන් විමර්ශන ක්‍රමවේද, ඩිජිටල් සාක්ෂි විශ්ලේෂණය සහ නඩු විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට නියමිතය.

ඒ හරහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන වංචාවලට ගොදුරු වූ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, අපරාධ ක්‍රියාකාරකම්වල ගමන් මඟ සොයා ගැනීමටත්, එම වංචාවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව වඩාත් ශක්තිමත් නඩු ගොනු කිරීමටත් විමර්ශකයන්ට විශාල රුකුලක් ලැබෙනු ඇත. 

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel