Unusuma Writer

1579 Posts
වසර 5ක් යනතුරු මාරුවීම් ඉල්ලන්න එපා.!

වසර 5ක් යනතුරු මාරුවීම් ඉල්ලන්න එපා.!

තම පත්වීම ලබන පාසලේ වසර පහක් සේවය කර අවසන් වනතුරු ස්ථාන මාරු නොඉල්ලන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සදහන් කරයි.

ආණ්ඩුකාරවරයා තවදුරටත් සදහන් කළේ,

“ඉගැන්වීම යනු කලාවක්, නිපුණතාවයක් විද්‍යාවක්. අපි ගුරු වෘත්තියට දෙන තැන හොඳටම මදි. අඩු තරමින් වෛද්‍ය වෘත්තියට ලබාදෙන තරමට වැඩි තත්ත්වක් මීට ලබාදිය යුතුයි. අපි කරන ඉගැන්වීම නිසා එකවර ළමයි තිහක් හතළිහක් අමාරුවෙ වැටෙන්න පුළුවන්. එකම පාසලේ අවුරුදු දහය පහළොව ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අවුරුදු අටකට පසුව ඔබට ස්ථාන මාරුවරිය ලබා දෙනවා.”

නැගෙනහිර පළාත් රාජ්‍ය සේවාවේ රාජ්‍ය සේවයට බඳවාගනු ලැබූ උපාධිධාරීන් පිරිසකට ආණ්ඩුකාර කාර්යාලයේදී පත්වීම් ලබා දෙමින් ආණ්ඩුකාරවරයා මේ බව සදහන් කරයි.

ලස්සන රටක් හදන්න සංගා – මහේල ජනපති සමග එක්වෙයි.!

ලස්සන රටක් හදන්න සංගා – මහේල ජනපති සමග එක්වෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සදහන් කරයි.

තවද මානසිකත්වය වෙනස්කිරීම තුළින් යහපත් වටිනාකම්, හරයන් එදිනෙදා ජීවිතයටත් පරිපාලනයටත් එක්කිරීම තුළින් රටේ දියුණුවට මෙන්ම ජනතාවගේ දියුණුවට ද විශාල රැකුළක් බවද කුමාර් සංගක්කාර සදහන් කරයි.

සමාරම්භක උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සහභාගි විය.

හිටපු නායක කුමාර් සංගක්කාර සදහන් කළේ,

“ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් අද මේ දියත් කරන්න ගරු ජනාධිපතිතුමා අපෙන් ඉල්ලා සිටියේ. ඉතාමත් හොඳ දෙයක් අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ මෙවැනි ක්‍රියාවලියක් දියත් කිරීම. සරළ විදියට අර්ථකථනය කළාට ඉතාමත් ගැඹුරු අදහසක් එක්ක තමයි මේ ක්‍රියාවලිය දියත්කරලා තියෙන්නේ”.

හිටපු නායක මහේල ජයවර්ධන සදහන් කළේ,

“මම හිතන්නේ ඉතාමත් වැදගත් කර්තව්‍යක් අලුත් අවුරුද්දේ. ජනාධිපතිතුමත් අනෙක් හැමෝගෙම සහයෝගයත් එක්ක අපට පුරවැසියන් විදිහට ලොක වගකීමක් තියෙනවා “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. හොඳ පටන් ගැන්මක්. බොහෝ දේ කරන්න තියෙනවා ඉදිරියට”.

නාමල් කුමාර අත්අඩංගුවට.!

නාමල් කුමාර අත්අඩංගුවට.!

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සමාජ ක්‍රියාකාරියෙකු වන නාමල් කුමාර අත්අඩංගුවට ගෙන ඇත.

කාදිනල් හිමිපාණන්ගේ ප්‍රතිරූපයට හානිවන අන්දමේ හඬපටයක් පිළිබඳව නාමල් කුමාර නැමැත්තා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහෙත් නාමල් කුමාර සිදුකළ එම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටුකරන ලෙස කතෝලික සභාව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

කෝටි 24ක් ගෙවලා.. ධීවර අමාත්‍යංශයේ කෙරුවාව හෙළිවෙයි.!

කෝටි 24ක් ගෙවලා.. ධීවර අමාත්‍යංශයේ කෙරුවාව හෙළිවෙයි.!

ධීවර අමාත්‍යංශය නිසි කලට බිල්පත් නොගෙවීම නිසා කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් කෝටි 24කට ආසන්න මුදලක් ප්‍රමාද පොලී ගාස්තු ලෙස ගෙවා ඇතැයි ව්‍යාපෘති කීපයක විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

ප්‍රධාන ඉදිකිරීම් ව්‍යාපෘති පහක් සදහා ගෙවීම් ප්‍රමාද කිරීම් වෙනුවෙන් මෙම අමතර වැයබර දරා ඇති අතර විගණන වාර්තාවේ සඳහන් වන පරිදි ධීවර වරායන් ඉදිකිරීමේ කොන්ත්‍රාත් පහක් අවසන් කිරීමට කොන්ත්‍රාත්කරුවන් දෙදෙනකුට පවරා ඇත.

එහෙත් පසුගිය 2023 දෙසැම්බර් (31) වන විට ඔවුනට ගෙවිය යුතු බිල්පත් නිසි පරිදි නොගෙවීම නිසා ප්‍රමාද පොලිය ලෙස රුපියල් 23,01,87,523ක් ගෙවීමට සිදුව ඇත.

මීට අමතරව පසුගිය 2021 වසරේ වැඩ අවසන් කිරීමට නියමිත වූ රැකව නැංගුරම්පොළ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් වැට් බදු රහිතව ගෙවිය යුතුව තිබුණේ රුපියල් 311,482,215කි.

එහෙත් එම ව්‍යාපෘතියේ වැඩ නිමකිරීම දිගින් දිගටම දීර්ඝ කිරීම නිසා කොන්ත්‍රාත්කරුට රුපියල් ලක්ෂ 38 කට අධික මුදලක් ප්‍රමාද පොලී ලෙස ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඇත්තටම කොරෝනා ආරම්භ වුණේ කොහොමද.? චීනය දැන්වත් ඇත්ත කියන්න.!

ඇත්තටම කොරෝනා ආරම්භ වුණේ කොහොමද.? චීනය දැන්වත් ඇත්ත කියන්න.!

කොවිඩ් (Covid) වසංගතයේ ආරම්භය පිළිබඳ නිවැරදි දත්ත නිකුත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) චීනයෙන් ඉල්ලීමක් කර ඇත.

චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වු කොවිඩ්-19 වසංගතය ලෝකය පුරා 70,10,000කට අධික පිරිසක් සහ ලංකාවේ 16,897ක් මරණයට පත් කළ අතර එය ආරම්භ වී මේ වනවිට වසර 05 ක් ගතවී ඇත.

එම තොරතුරු අනාවරණය කිරීම සදාචාරාත්මක සහ විද්‍යාත්මක අවශ්‍යතාවක් වන බවත් රටවල් අතර විනිවිදභාවය සහ සහයෝගිතාව නොමැතිව අනාගත වසංගත සදහා සූදානම් විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

කොවිඩ්-19 වෛරසය ස්වාභාවිකව සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වූ බවට විද්‍යාඥයෝ අදහස් දක්වන අතර එය චීනයේ වූහාන්හි රසායනාගාරයකින් පිටතට පැමිණි බවට ඇතැම් පිරිස් සැක මතු කරයි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීමට චීනය මෙතෙක් නිල වශයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

රජයට වන පාඩු අය කරගන්න නව නීතියක්.!

රජයට වන පාඩු අය කරගන්න නව නීතියක්.!

රාජ්‍ය නිලධාරීන් රාජකාරි ඉටුකිරීමේදී රජයට සිදුවන පාඩු අයකර ගැනීමට හැකිවන පරිදි සුදුසු ඇපකරයක් පවත්වා ගෙන යාමට අදාළ ඇප ආඥාපනත සංශෝධනය කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

මෙම ඇප අයකරගැනීමේ ක්‍රියාවලිය සරල හා කාලෝචිත අයුරින් කිරීමට හැකි වන පරිදි ඇප ආඥාපනත පූර්ණ ප්‍රතිශෝධනයකට ලක් කිරීමට අවශ්‍ය සංශෝධන හඳුනාගැනීම මෙම කමිටුවේ වගකීම බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

එම කමිටුවේ නිර්දේශ අනුව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්.!

ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්.!

2025 නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක Clean Sri Lanka ජාතික වැඩසටහන අරඹමින් සදහන් කරයි.

නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බවත් අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇති බවත් එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව ජනාධිපතිවරයා සදහන් කරයි.

දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බවත් ඒ සදහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සදහා සහාය ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙලක ආරම්භය සනිටුහන් කරන බවත් දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක්කළ යුතු බවත් තුන්වන වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවත් මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සදහා සෑම අංශයකම සිදුකරන පිරිසිදුභාවය මෙහි අරමුණු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපේ රාජ්‍යයේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා. දුප්පත් බවින් අප රටේ පුරවැසියන් මුදා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යන ක්‍රමයක් අප ගොඩ නගනවා. ලබන අයවැය දුප්පත් කම තුරන් කරන වැඩසටහනක් මෙහෙයවන ආරම්භයක් බව කිව යුතුයි. දෙවනුව අප මේ රටේ ඩිජිටල්කරණයට ලක් කරනවා.

පුරවැසියා සහ රාජ්‍ය අතර බැඳීම එයින් ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පමණක් නොවේ. ගරා වැටුණු සමාජ දේහය මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. අපේ පිහිටීම ඉතා වැදගත්. අපේ රටේ පරිසර තත්වය ඉතා ඉහළයි. නමුත් සිදුවී ඇත්තේ කුමක්ද.?

අලි මිනිස් ගැටුමෙන් ජනතාව මැරෙනවා. අලි මැරෙනවා. ඒ නිසා අප යළි පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කළ යුතුව තිබෙනවා. අපේ පුරවැසියන්ට වටිනාකම් මෙන්ම නව හර පද්ධතියක් අවශ්‍යයි. පළමු ‌කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකමක් අවශ්‍යයි.

මේ සමාජය යළි සුවපත් කළ යුතුයි. නීතිය ගැන නොව පළමුවෙන්ම පුරවැසියන් ගැන අප විශ්වාසය තබනවා. පුරවැසියන් එය නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ රටේ පුරවැසියන්ට වස විසින් තොර ආහාර වේලක් ලබාදීමේ වගකීම රාජ්‍යයට තිබෙනවා. අප එය ඉටු කරනවා.

පොදු දේපළ ආරක්ෂා කිරීම සඳහා ජාතිය පෙළ ගැස්විය යුතුව තිබෙනවා. ජාතික වත්කම් රැකීමට සියලු දෙනාට හැඟීමක් තිබිය යුතුයි. හැම පුරවැසියාම තමන්ට පැවරී තිබෙන වගකීමට වගකිව යුතුයි. කිසිවෙක් තමන්ගේ වගකීමේ බර නොසලකා හරින්නේ නම් මේ සමාජ දේහය කඩා වැටෙනවා.

වගකීමට වග වෙන්න උත්සාහ කරන්නැයි අප රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා. මගේ උපදේශකයන් තිදෙනාම රජයෙන් රුපියලකවත් වැටුපක් නොගෙන වැඩ කරනවා.

අපට නැගිටින්න අවස්ථාව ලැබී තිබෙනවා. එය අවසන් අවස්ථාව යැයි මා කියන්නේ නැහැ. මේ අවස්ථාව අත්හරිනවාද නැතිනම් දැඩිව ග්‍රහණය කොට ගෙන අපේ රට ජාතිය නගා සිටුවීම සඳහා තම කාර්යභාරය ඉටු කරන්න සූදානම් දැයි මා අසනවා.

මේ එක් දේශපාලන උත්සාහයක් නොවේ. සාමූහික උත්සාහයක්. කවදාවත් ජනතාව එකට නැගිටින්න සූදානම් නැත්නම් මේ අභියෝගයෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ. අපි එකම ශ්‍රී ලංකාවේ ඉපදුණු මිනිසුන් ලෙස මේ රට ගොඩනඟමු.

ඕනෑම ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක්, අත්තිවාරමක් අවශ්‍යයි. අපේ රට, අපේ ජාතිය අත්තිවාරම අහිමි වූ රටක්. පදනම අහිමි වූ රටක්. ඒ නිසා අපි මුලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් නිමා කරමින් තිබෙනවා.

මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම අපි සකස් කරලා තියෙනවා. දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නීති විධාන ආධිපත්‍ය, ව්‍යවස්ථාවට ගරු කිරීම හා ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දුෂණය පිටුදැකීම.

මේ අත්තිවාරම ඉදිරියට ගෙන යෑමට නම් අපි ඉතාමත් වේගයෙන් මේ අත්තිවාරම ගොඩනගමින් තිබෙනවා. පුරවැසියන්ට ඒ ගොඩනගා තිබෙන අත්තිවාරම මත ආර්ථික ප්‍රතිලාභ පුරවැසියාට ගලා යා යුතුයි.”

හිටපු ලොක්කෙක්ට පාර්ලිමේන්තුවේ උපරිම සැප.. වියදම කෝටියයි.!

හිටපු ලොක්කෙක්ට පාර්ලිමේන්තුවේ උපරිම සැප.. වියදම කෝටියයි.!

රජය මේ දක්වා රුපියල් කෝටියකට වැඩි අමතර වැය බරක් දරා විශ‍්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදී තිබෙන බව වාර්තා වේ.

එම නිලධාරියා පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදීමෙන් රජය රුපියල් කෝටියකට වැඩි අමතර වැය බරක් මේ දක්වා දරා ඇති බවද වාර්තා වේ.

මෙම නිලධාරියා වසර විසි නවයක සේවයෙන් පසුව පසුගිය වසරේ මැයි මාසයේදී විශ්‍රාම ලැබු බවත් එම විශ්‍රාම ලැබු නිලධාරියා වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 6කට ආසන්න දීමනාවක් මෙන්ම වෙනත් පහසුකම් ලබාදෙන බවද වාර්තා වේ.

විශ්‍රාම ගොස් දින කිහිපයකින් පසුව ලේකම් ධූරයට ඔහු පත් කෙරුණේ පසුගිය රජයේ ප්‍රධානියකුගේ ආශිර්වාදයෙන් වන අතර එම ධූරය දැනට පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට කරගෙන යෑමට හැකියාව තිබියදී විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීම විහිළු සහගත කාරණයකි.

දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව වසරක්.!

දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව වසරක්.!

ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි.

දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය.

ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.

ග්‍රාමීය දිළිදු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම රටෙහි ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස අපි හඳුනාගෙන සිටිමු.

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් ඔස්සේ සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගත් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන නව වසරේ උදාවත් සමඟ ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම අනුවයි.

මෙකී පරිවර්තනාත්මක සංවර්ධන ව්‍යායාමය සමඟ රටක් ලෙස අප 2024 වසරේදී ලබා ගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් නව ආකල්ප පුබුදුවා, නව අධිෂ්ඨානයක් සිත් දරා සහෘදත්වයත් සමඟ පෙරට පැමිණීමට 2025 නව වසර උදාව මහඟු අවස්ථාවක් ජනිත කර ඇති බව මම තරයේ විශ්වාස කරමි.

නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතාහිතෛෂී පාලනයක් ඇති කරමින් සියලු ජනතාව එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කිරීමේ අවස්ථාව දැන් ඔබට, අපට හිමිව ඇත. අත්හළ නොහැකි මෙම භාරදූර වගකීම අප සියලුදෙනාගේ දෙවුර මත පැටවි තිබේ. ඒ වගකීම පිළිබඳ මනා අවබෝධයක් අපට ඇත.

මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් 2025 නව වසරේදී තවත් වීර්යයෙන් සහ සද්- අධිෂ්ඨානයෙන් යුතුව අපි කැප වී ක්‍රියා කරන්නෙමු.

සෞභාග්‍යය, එකමුතුබව සහ නව අපේක්ෂා සපිරි සුබ නව වසරක් වේවා.!’යි, සාමය සහ ප්‍රගමනය උදෙසා අප හා එක්ව ප්‍රයත්න දරන ඔබ සැමට මම ප්‍රාර්ථනා කරමි.

හොර පාරෙන් මෙරටට ගෙනා තවත් සුඛෝපභෝගී රථයක් හමුවෙයි.!

හොර පාරෙන් මෙරටට ගෙනා තවත් සුඛෝපභෝගී රථයක් හමුවෙයි.!

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා toyota land cruiser prado වර්ගයේ අධි සුඛෝපභෝගී ජිප් රථයක් සමඟ පුද්ගලයකු මිරිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය සදහන් කරයි.

මෙම ජිප් රථය ආදායම් බලපත්‍ර නොමැතිව වසර විස්සකට වැඩි කාලයක් මීරිගම ප්‍රදේශයේ ධාවනය කර ඇති අතර ඒ පිළිබඳ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුව අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරීවරයාගේ සැලසුමකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විමර්ශනයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මිරිගම ප්‍රදේශයේ 46 හැවිරිදි ව්‍යාපාරිකයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වාහනය 2023 වර්ෂයේදී කූට ලේඛන හා ව්‍යාජ වාහන ජාවාරම සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු විසින් නීති විරෝධී අයුරින් මෙරටට ආනයනය කර ඇති බව අනාවරණය වී ඇත.

We are happy to invite you.