ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දෙන සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ (Simplified and Unified Business Name Registration – BNR) නියමු ව්‍යාපෘතිය (10) දින අනුරාධපුරයේදී ආරම්භ කෙරිණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, Chrysalis ආයතනය සහ පළාත් සභාවන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනේ අරමුණ තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කර දිවයින පුරා ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වාදීමයි.
1918 වසරේ සිට පැවති පැරණි ක්‍රමවේදය තුළ ඉඩම් හිමිකාරිත්වය පිළිබඳ ලේඛන සහ විවිධ ආයතනවල අනුමැතීන් ලබාගැනීම වැනි සංකීර්ණ අවශ්‍යතා පැවතිණි.
නව ප්‍රතිසංස්කරණය මඟින් ව්‍යාපාර නාම ලියාපදිංචිය සහ වෙනත් නීතිමය බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය වෙන්කර, මූලික අනන්‍යතා හා පදිංචි තොරතුරු පදනම් කරගනිමින් දින පහක් වැනි කෙටි කාලයකදී ලියාපදිංචිය සිදුකිරීමට අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.
මෙහි පළමු අදියර ලෙස මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මාස තුනක නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය ඇගයීමෙන් අනතුරුව මෙම ක්‍රමවේදය දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, ඉදිරියේදී ඩිජිටල් පද්ධතියක් හරහා සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමටත් සැලසුම් කර තිබේ.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පවතින පරිපාලනමය බාධා අවම කරමින් විධිමත් ආර්ථිකයට පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසීම මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණයි.
