Local news

ගෝඨාභය බියවෙයි.. අනේ මාව අත්අඩංගුවට ගන්න එපා.. ඉහළටම දුක කියයි

ගෝඨාභය බියවෙයි.. අනේ මාව අත්අඩංගුවට ගන්න එපා.. ඉහළටම දුක කියයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව නැවතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

ආරක්ෂිත ශ්‍රී ලංකාවක්.. රජය ජාතික වැඩපිළිවෙළක් අරඹයි

ආරක්ෂිත ශ්‍රී ලංකාවක්.. රජය ජාතික වැඩපිළිවෙළක් අරඹයි

ශ්‍රී ලංකාවේ ගොඩනැගිලිවල ආරක්ෂාව, ගුණාත්මක භාවය, තිරසාර භාවය සහ ආපදා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ගොඩනැගිලි කේත (National Building Code of Sri Lanka – NBCSL) සම්පාදනය කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI) විසින් වැදගත් ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI), ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් (08) ආරක්ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

NBRI විසින් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව (NPD) වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාවට අනුව, 2026-2028 කාල සීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති අතර ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක් මත පදනම්ව, 2025 ඔක්තෝබර් (21) දින (යොමු අංක 25/1928/803/054) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබාදී තිබේ.

මෙම ව්‍යාපෘතිය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI), ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) මුලිකත්වයෙන් අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගේ ද සහභාගිත්වයෙන් සිදු කරනු ලබයි.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව ස්ථාපිත කරන ලද එක් ජාතික ගොඩනැගිලි කේතයක් නොමැත. ගොඩනැගිලි සැලසුම් කිරීම සහ ඉදිකිරීම් කටයුතු සඳහා දැනට ජාත්‍යන්තර ගොඩනැගිලි කේතය (International Building Code – IBC), යුරෝපීය ගොඩනැගිලි කේත (Eurocodes), බ්‍රිතාන්‍ය ගොඩනැගිලි ප්‍රමිති (British Standards) සහ ඉන්දීය ගොඩනැගිලි ප්‍රමිති (Indian Standards) ඇතුළු ජාත්‍යන්තර ගොඩනැගිලි ප්‍රමිති මෙන්ම, විවිධ දේශීය රෙගුලාසි සහ ක්ෂේත්‍රයට විශේෂිත අවශ්‍යතා ද භාවිත කෙරේ.

මෙම ගොඩනැගිලි ප්‍රමිති මඟින් වටිනා තාක්ෂණික මඟපෙන්වීමක් ලබා දෙන නමුත්, ඒවා තෝරාගත් ආකාරයෙන් සහ ඇතැම් අවස්ථාවලදී එකිනෙකට සංයෝජනය කර භාවිත කිරීම හේතුවෙන් සැලසුම් අනුකූලතාව සහතික කිරීම, අනුමැතිය ලබාදීම සහ බලාත්මක කිරීමේ ක්‍රියාවලීන්හි නොගැළපීම් ඇති විය හැකිය.

ගංවතුර, නායයෑම්, තද සුළං සහ අනෙකුත් ස්වභාවික ආපදා අවදානම් වලට ශ්‍රී ලංකාව නිරාවරණය වී ඇති බැවින්ද, රට තුළ පවතින විවිධ දේශගුණික, භූ විද්‍යාත්මක සහ පාරිසරික තත්ත්වයන් සැලකිල්ලට ගත් විටද, ජාතික වශයෙන් අදාළ වන ගොඩනැගිලි කේත වල අවශ්‍යතාවය විශේෂයෙන් වැදගත් වේ. මෙම ජාතික තත්ත්වයන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද ගොඩනැගිලි කේත මඟින් වඩාත් ආරක්‍ෂිත සැලසුම්කරණය, ඉදිකිරීම, නඩත්තුව සහ නියාමන අධීක්ෂණය සඳහා පැහැදිලි පදනමක් සපයනු ඇත.

යෝජිත ශ්‍රී ලංකාවේ ජාතික ගොඩනැගිලි කේත මඟින් ජාත්‍යන්තරව පිළිගත් හොඳම භාවිතයන්ට අනුකූල වන අතරම ශ්‍රී ලංකාවේ දේශීය තත්ත්වයන්ට ගැළපෙන අවශ්‍යතා අනුව සකස් කරන ලද ඒකාබද්ධ ජාතික රාමුවක් ස්ථාපිත කරනු ඇත. ව්‍යුහාත්මක ආරක්ෂාව, ගිනි ආරක්ෂාව, තිරසාර භාවය සහ සර්වජන ප්‍රවේශතාව ඇතුළු ප්‍රධාන තාක්ෂණික ක්ෂේත්‍ර දහයක් ආවරණය වන පරිදි මෙම ගොඩනැගිලි කේත සකස් කෙරෙන අතර, අවසර ලබාදීම, පරීක්ෂා කිරීම, අනුකූලතාව තහවුරු කිරීම සහ බලාත්මක කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේද ද ඊට ඇතුළත් කෙරේ.

මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු දෙකක් පවති. පළමුව, ශ්‍රී ලංකාවේ දැනට පවතින ඒකාබද්ධ නොවූ ගොඩනැගිලි ඉදිකිරීම් නියාමන පද්ධතිය වෙනුවට ඒකාබද්ධ ජාතික රාමුවක් ස්ථාපනය කිරීම සහ දෙවනුව, එම රාමුව රට පුරා නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතනික හා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ ස්ථාපිතකිරීමයි.

මේ යටතේ පැහැදිලිව නිර්වචනය කරන ලද ආයතනික වගකීම්, අනුමැතිය සහ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාපටිපාටි, පරීක්ෂණ සහ බලාත්මක කිරීමේ විධි විධාන මෙන්ම, නියාමන ආයතන සහ ඉදිකිරීම් කර්මාන්තයේ වෘත්තිකයන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් ද ඇතුළත් වනු ඇත.

මෙම කේතය සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා රාජ්‍ය ආයතන, වෘත්තීය ආයතන, ශාස්ත්‍රීය ක්ෂේත්‍රය, ඉදිකිරීම් කර්මාන්තය සහ මහජනතාව සමඟ පුළුල් උපදේශන ක්‍රියාවලියක් සිදු කෙරෙනු ඇත. එමඟින් කේතය තාක්ෂණික වශයෙන් ශක්තිමත්, ජාතික අවශ්‍යතා වලට අදාළ සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි එකක් බව සහතික කිරීමට අපේක්‍ෂා කෙරේ.

ජාතික ප්‍රසම්පාදන ආයතනයේ මාර්ගෝපදේශ වලට අනුකූලව තරගකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් මෙම කාර්යය සඳහා සුදුසුකම් ලත් උපදේශක ආයතනයක් තෝරා ගැනීමට නියමිතය. මාස 24ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන අතර, ශ්‍රී ලංකාවේ ජාතික ගොඩනැගිලි කේතය සකස් කර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් මෙම කාර්යය අවසන් කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙළ සඳහා 2026-2028 කාල සීමාව තුළ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ අරමුදල මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත.

නවීන, විද්‍යාත්මක පදනමක් මත සකස් කරන ලද ඉදිකිරීම් ප්‍රමිතීන් තුළින් ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා රජය දක්වන දැඩි කැපවීම මෙම ජාතික වැඩපිළිවෙළ මඟින් පිළිබිඹු වේ. ජාතික ගොඩනැගිලි කේත අවශ්‍යතාවය දිගු කලක සිට පැවති අතර එය සම්පාදනය කිරීම වඩාත් ආරක්ෂිත සහ ආපදා ඔරොත්තු දෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන වැදගත් පියවරකි.

ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් නෙරපයි

ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් නෙරපයි

වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ තනතුරෙන් නෙරපා හැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

තිලිණ ගමගේට එරෙහිව එල්ලවී තිබූ සියලු චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහු තනතුරෙන් නෙරපා හැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කළේය.

ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කරන අතරතුර අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් හදිසියේම මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර පසුගිය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මාරුකර යවා තිබුණේය.

අනතුරුව 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ ඔහුගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගත්තේය.

නීතිය දැඩි කරයි.. මෙට්‍රෝ බස් වලට හානි කළොත් අත්අඩංගුවට

නීතිය දැඩි කරයි.. මෙට්‍රෝ බස් වලට හානි කළොත් අත්අඩංගුවට

නව මෙට්‍රෝ (Metro) බස් රථ වලට හිතාමතා හානි සිදු කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබාදී තිබෙන බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

ඒ අනුව මෙට්‍රෝ බස් රථ යනු රාජ්‍ය දේපළ බැවින් එම අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මෙම රාජ්‍ය දේපල වලට අලාභහානි සිදුකිරීම යන වරද සම්බන්ධව සිදුකළ අලාභ තක්සේරු කරමින් විමර්ශනයක් සිදුකර අධිකරණයට ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මෙය කීපදෙනෙක් විසින් සංවිධානාත්මකව කුමන්ත්‍රණකාරීව මෙම ක්‍රියාව සිදුකරන බවට නිරීක්ෂණය වී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

අපරාධ නීතිය සහ මොටර් රථ වාහන පනතේ තිබෙන නීතිමය තත්ත්වයන් යටතේ මේ සම්බන්ධව දැඩි පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

වැඩේ අසාර්ථකයි.. ශිරන්ති නැවතත් වැලිකඩට

වැඩේ අසාර්ථකයි.. ශිරන්ති නැවතත් වැලිකඩට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද (09) දින අක්ෂි රෝහල වෙත ඉදිරිපත් කළේය.

අද (09) දින කොළඹ අක්ෂි රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ නැවතත් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

ඊයේ (08) දින ශිරන්ති රාජපක්ෂ බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල ඇතුළු සාම්පල කිහිපයක් ලබාගෙන ඇත.

ශිරන්ති රාජපක්ෂ කාන්තා රැඳවුම් අංශයේ රෝගීන් රඳවන ස්ථානයේ රඳවා ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ ලබන (13) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සම්බන්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන ඒකකයන් ඔස්සේ විමර්ශන සිදුකරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

තවද මේ වනවිට එම සිද්ධීන් කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුකර අධිකරණ වලට කරුණු වාර්තා කර තිබෙන බවද මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“සමාජ මාධ්‍ය ව්‍යාජ ගිණුම් හරහා මුස්ලිම් විතරක් නෙමෙයි විවිධ ජාතීන් වල අයට වෛරී ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව නිරීක්ෂණය වෙලා තියෙනවා. මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක කණ්ඩායමක් ක්‍රියාත්මක වන ආකාරයක් පිළිබඳව කරුණු අනාවරණය වෙලා නෑ.

නමුත් දේශීයවත්, විදේශීයවත් ව්‍යාජ ගිණුම් සාදාගෙන මෙවැනි වෛරී ප්‍රකාශ කරනවා සියලුම ජාතීන්වලට අයත් පුද්ගලයින් විසින්. මේ පිළිබඳව පරිඝණක අපරාධ විමර්ශන ඒකකයන් ඔස්සේ විමර්ශනය සිදු කරනවා. ඒ වගේම සිද්ධීන් කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුකර අධිකරණ වලට කරුණු වාර්තා කර තිබෙනවා.”

කළුතර වෙඩි තැබීමක්.. අයෙක් මරුට

කළුතර වෙඩි තැබීමක්.. අයෙක් මරුට

අද (09) දින කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එම අවන්හලේ හිමිකරු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාට වයස අවුරුදු 54ක් බවත්, තුවාල ලැබූ ඔහුගේ බිරිඳ වයස අවුරුදු 52ක් බවත් පොලීසිය සඳහන් කරයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

ශ්‍රී ලංකන් ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය රියාද් දක්වා සිදුකරන ගුවන් ගමන් හෙට (10) දක්වා අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර හූති ප්‍රහාර හේතුවෙන් රියාද් බලා යන ගුවන් ගමන් 300කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හදිසියේම ඉහළ⁣ ගිය තෙල් මිල

හදිසියේම ඉහළ⁣ ගිය තෙල් මිල

අද (09) දින ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.10 දක්වා ඉහළ ගොස් ඇත.

BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.09 දක්වා ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.07 දක්වා ඉහළ ගොස් ඇත.

මහින්දයි ගෝඨාභයයි ඉක්මනට හිරේට දාන්න.. මිනිස්සු බලාගෙන ඉන්නවා

මහින්දයි ගෝඨාභයයි ඉක්මනට හිරේට දාන්න.. මිනිස්සු බලාගෙන ඉන්නවා

LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට සිදු කිරීමට නොහැකි වු දෙයක් මේ ආණ්ඩුව විසින් ඉටුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඩයස්පෝරාව සතුටු වන බවද මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සඳහන් කරයි.

පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කොහොම හරි සිරගත කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවද මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සඳහන් කරයි.

මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“සතුටුයි අපිට. මට පෞද්ගලිකව මේක කියන්න තියෙන්නේ, අපේ ඩයස්පෝරාවෙන් කිවුවා ඔබතුමාලා ගෝඨාවත් අරන් දාන්න කියලා. මහින්ද රාජපක්ෂවත් අරන් දාන්න කියලා. එයාගේ බිරිඳවත් අරන් දාන්න කියලා. නාමල්වත් අරන් දාන්න කියලා.

අපි දෙමළ, හැබැයි අපිට ප්‍රභාකරන්ටත් බැරිවෙච්ච එකක් මේ ආණ්ඩුව අපිට කරලා දීපු එකට ඇත්තටම අපේ මිනිස්සු වෙනුවට, මගේ පෞද්ගලික වෙනයි. අපේ මිනිස්සු වෙනුවට මම සතුටු වෙනවා. හැබැයි අපි ඉස්සරහට බලාගන්නවා පළාත් සභා තියන්න කලින්,

කොහොමහරි ගෝඨාවයි, මහින්ද රාජපක්ෂවයි අරන් ඇතුළට දාන්න. එතකොට තමා ඕගොල්ලොන්ට උතුරේ ඡන්ද වැටෙනවා. හැබැයි උතුරේ ඡන්දය පෙන්නලා දකුණේ ඡන්දය ගන්න පුළුවන්. හලෝ මේ කතාව මිනිස්සු බලාගෙන ඉන්නවා. හැබැයි පළාත් සභා තිබ්බොත් අපි ඒ කාලේ බලාගමු.”

✕
⌃ News
📰 Free News Subscription?