Local news

මියගිය තරුණයාට පහර දීලා.. ඉලඇට කැඩිලා.. හිසේ තුවාලයක්.. ඇත්තටම මොකද වුණේ.?

මියගිය තරුණයාට පහර දීලා.. ඉලඇට කැඩිලා.. හිසේ තුවාලයක්.. ඇත්තටම මොකද වුණේ.?

පොලිස් භාරයේ සිටියදී සැකකරුවෙකු මියයෑම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හෝමාගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් (12) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හෝමාගම පොලීසිය විසින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි පුද්ගලයා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය (25) වැනිදා මියගියේය.

එම පුද්ගලයා මියයාමේ සිද්ධිය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ සම්බන්ධව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ වෛද්‍ය වාර්තාවේ කරුණු අනුව බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ (29) දින පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මේ බව සඳහන් කරයි.

තවද එම පුද්ගලයාගේ ඉලඇට තුනක් කැඩී ඇති බවත් මොළයේ රුධිර වහනයක් සිදුව ඇති බවත් ඔහුගේ හිසට තුවාල සිදුව ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ,

“මෙම තරුණයා අත්අඩංගුවට පත් වන්නේ (25) වෙනිදා අලුයම් කාලයේ. නමුත් මෙම තරුණයා ඊට කලින් දවසේ (24) වෙනිදා. (24) වෙනිදා රෝහල් ගත වෙලා ඉඳලා තියෙනවා. ඔහු පැවසුවේ අත්අඩංගුවට ගැනීමේදී මම බයිසිකලයෙන් වැටුනා.

ඒ නිසා තමයි හොස්පිටල් ඇඩ්මිට් වුනේ කියලා. ඒ වුණත් මේ තරුණයා පැය කීපයක් රෝහල් ගත ගත කර ඉඳලා ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ අවසරයක් නොමැතිව ඔහු රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

නමුත් පසුව අනාවරණය වෙනවා මොහු අත්අඩංගුවට පත් වෙන්න ප්‍රථම අර බයිසිකලයෙන් වැටුනා කියලා කිව්වට සිද්ධ වෙලා තියෙන්නේ දෙපිරිසක් අතර ආරවුලක් ඇති වෙලා පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ පහර දීම අනුව තමයි රෝහල් ගත වෙලා තියෙන්නේ.

එතකොට මේ අනුව එම සිද්ධියත් (24) වෙනිදා ඇති වූ සිද්ධියත් ඒ වගේම පොලීසියේ පොලිස් ස්ථානය තුළ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කරමින් පවතිනවා. පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී සිදු කළ යුතු සම්පූර්ණ ක්‍රියාදාමය, ඔහු ස්ථානය ඉදිරිපත් කිරීම, ප්‍රශ්න කිරීම, අපේ ලේඛන ලකුණු කිරීම ඒ ආදී දෙයක් නිසි පරිදි සිද්ධ වෙලා නැහැ. ඒක තමයි මේ අපේ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියා කරන්නේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් සිද්ධ සිදු වෙමින් පවතිනවා.”

“මේ හෝමගම සිද්ධියේදී වෛද්‍ය වාර්තාවේ තියෙන්නේ ඔහුගේ ඉලඇට තුනක් කැඩිලා තියෙනවා කියලා. ඊට අමතරව මොළයේ රුධිරය මම හිතන්නේ මේ වාහනය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙලා තියනවා.

නමුත් අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මේ හිසට තුවාල වීමක් තියෙනවා. ඉතින් මෙතන මට තියෙන ගැටලුව දැන් මොකද හේතුව දැන් මේ දවස් දෙකක් ළඟ තමයි ඔක්කොම දේවල් වුණේ. (24) යි (25) යි මේ සිද්ධි දෙක වුණේ. ගමේ එළියේදී පහර දීම සිද්ධ වුණේ (24) වෙනිදා.

පොලීසියේ පහර දීම සිද්ධ වුණා සිද්ධ වුණේ (25) වෙනිදා. ඉතින් මේ මේ පැය ගණනාවක් ඇතුළත මේ සිද්ධි වෙනස තියෙන්නේ. ඉතින් මට කියන්න අපහසුයි මේ පහර දීම කෙසේ කොහොමද වුණේ කියලා. නමුත් ඔහුගේ මරණයට හේතුව පහර දීමක් කියලා විශ්වාස කරනවා.

නමුත් මට ඒක හරියටම කියන්න බැහැනේ වෛද්‍ය වාර්තාවෙන් ලැබෙන තොරතුරු අනුව. අපි අර සිර මැදිරිය දාන්න ප්‍රථම ඔහු රදවාගෙන තිබෙනවා යම්කිසි කාලයක් මේ අපරාධ අංශයේ. ඒ තුළදී පහර දීමක් සිදු වූ බවට අපිට තොරතුරු ලැබීමෙන් පවතිනවා. තාම ස්ථිර නැහැ. ඒ සම්බන්ධයෙන් තමයි විමර්ශනය කරන්නේ. විමර්ශනය අනුව අපිට මේක තව ඉදිරියේදී මේ පිළිතුරු ලබා දෙන්න පුළුවන්.”

නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇණහිටී.. තාවකාලික බලපත්‍ර.?

නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇණහිටී.. තාවකාලික බලපත්‍ර.?

මුද්‍රණ කාඩ්පත් සහ මුද්‍රණ යන්ත්‍ර හිඟය ඇතුළු කරුණු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ හයහමාරකට අධික රියැදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

නොවැම්බර් මස මැද වනවිට මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ලැබීමෙන් පසුව රියැදුරු බලපත්‍ර මුද්‍රණ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

ඒ අනුව ලබන 2027 වසරේ අප්‍රේල් මාසය පමණ වනවිට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය පරිදි කිරීමට හැකිවනු ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු සඳහන් කරයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන් බොහෝ පිරිසකට මේ වනවිට නිකුත් කෙරෙන්නේ තාවකාලික බලපත්‍රයකි.

චරිත් අබේසිංහගේ දේපල පරිහරණය අත්හිටුවයි

චරිත් අබේසිංහගේ දේපල පරිහරණය අත්හිටුවයි

හරක් කටා නැමැත්තාගේ බිරිඳගෙන් අල්ලස් ගත් බවට චෝදනා එල්ල වන සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ දේපලක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම පියවර ගෙන ඇත.

ඒ අනුව සමගි ජන බල වේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහට අයත් හොරණ පිහිටි සුවිසල් නිවසක් පරිහරණය අත්හිටුවා ඇත.

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් හා සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් තහනම් කර ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංගට අයත් වාහනයක් ද පරිහරණය තහනම් කර ඇත.

“හරක් කටා” ඝාතනය කිරීම වැළැක්වීම සඳහාත්, ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරීම ඇතුළු විමර්ශන සඳහාත් සහය දීමට හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1200ක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංගට චෝදනා එල්ල වේ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපති පත් කෙරේ

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපති පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත්කරනු ලැබ ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල වෙත අද (29) දින ප්‍රදානය කරන ලදී.

2026 නොවැම්බර් මස (02) වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදුකර ඇත.

මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයේ කළේය.

ඉරාන කොන්දේසි ඉටු කරන තෙක් හෝමූස් විවෘත කරන්නේ නෑ

ඉරාන කොන්දේසි ඉටු කරන තෙක් හෝමූස් විවෘත කරන්නේ නෑ

ඉරානය විසින් ඉදිරිපත් කළ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු කරන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක හොසේන් මොහෙබි සඳහන් කරයි.

එක්සත් ජනපදය ඉරානයේ ඉල්ලීම් වලට එකඟ වන තුරු මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය වසා තබන බව ප්‍රකාශක හොසේන් මොහෙබි අවධාරණය කර ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වනවිට ඉරාන සන්නද්ධ හමුදාවන්ගේ උපායමාර්ගික පාලනය යටතේ පවතින බවත් ඉරානයේ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු කරන තුරු එය විවෘත නොකරන බවද ප්‍රකාශක හොසේන් මොහෙබි සඳහන් කරයි.

ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

හෝමාගම පොලීසියේ OIC⁣ට අධිකරණයෙන් දුන් නියෝගය

හෝමාගම පොලීසියේ OIC⁣ට අධිකරණයෙන් දුන් නියෝගය

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (29) දින අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන නොවැම්බර් මස (12) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර ඔහු හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ සේවය පසුගිය (26) වැනිදා සිට අත්හිටුවීමට පියවර ගත් අතර තවද එම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා ඇත.

හිටපු ඇමති පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් අත්හිටුවයි

හිටපු ඇමති පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත.

දැනට සිදු කරන විමර්ශනයකට අදාළව, අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතියේ ප්‍රතිපාදනවලට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් අත්හිටුවීමට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් නාවල පිහිටි රඛිත රාජපක්ෂගේ නිවස වෙත ගොස් ඇත.

එහෙත්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ නිවේදනය භාරදීමට යන අවස්ථාවේදී රඛිත රාජපක්ෂ නිවසේ සිට නොමැති බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම්

නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම්

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට මෙන්ම, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ සහ නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අරමුණින් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳව අද (29) දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් බවට බෝ නොවන රෝග පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අභියෝගයට මුහුණදීම සඳහා ක්‍රීඩාවට පුළුල් කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන් කළේය.

ඒ වෙනුවෙන් ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කරමින්, ක්‍රියාශීලී සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සඳහා වැඩි වශයෙන් ක්‍රීඩාවට යොමු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම, දිවයින පුරා ඇවිදීමේ මංතීරු ඉදිකර තිබුණද, ඇතැම් ප්‍රදේශවල ඒවායේ අපේක්ෂිත ප්‍රයෝජනය නිසි පරිදි අත්කර ගැනීමට නොහැකි වී ඇති බැවින්, එම පහසුකම් ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනතාව දිරිගන්වන නව වැඩසටහන් හඳුන්වාදීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දිවයින පුරා පිහිටි ක්‍රීඩාංගණ, ඇවිදීමේ මංතීරු සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමෙන් මෙම වැඩසටහන් නිසි ලෙස සැලසුම් කිරීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඉහළ නැංවීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීම, අනුරාධපුරයේ මීටර් 400ක කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම, දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කර එය සංවර්ධනය කිරීම සහ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම මෙන්ම ක්‍රීඩා වෛද්‍ය ආයතන හා විශ්වවිද්‍යාල ඒකාබද්ධව ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ කටයුතු ඇතුළු 2027 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරිණි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පළමු තැන

පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පළමු තැන

ඉදිකිරීම් ආරම්භ කර අතරමඟ අතහැර දමා තිබූ, රුපියල් මිලියන 62ක වටිනාකමකින් යුත් කටුගස්තොට භූගත පදික මාරුව (Underpass) අද (29) දින ජනතා භාවිතය සඳහා විවෘත කෙරිණි.

ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ සහ සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 5,000කට පමණ ආරක්ෂිතව මාර්ගය හරහා ගමන් කිරීමේ පහසුකම් සැලසේ.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාවට ද සිය දෛනික ගමනාගමන කටයුතු වඩාත් ආරක්ෂිතව සිදුකර ගැනීමට මෙමඟින් අවස්ථාව උදාවේ.

එමෙන්ම මෙම ස්ථානය ආශ්‍රිතව පාසල් ආරම්භ වන සහ අවසන් වන වේලාවන්හිදී ඇතිවන වාහන තදබදයට තරමක හෝ සහනයක් ලැබෙනු ඇත.

Follow WhatsApp Channel