Attention (Sinhala)

සෑම මිනිසුන් දෙදෙනෙකුගෙන් අයෙකුට රිලවෙකු සිටිනවාදැයි සැකයක්.?

සෑම මිනිසුන් දෙදෙනෙකුගෙන් අයෙකුට රිලවෙකු සිටිනවාදැයි සැකයක්.?

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගියදා කරන ලද සංගණනයේ දත්තවලට අනුව කෘෂි භෝගවලට හානි කරන ප්‍රධානම සත්ව කොට්ඨාශය වන රිලවුන් ලක්ෂ 80 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

මීට අමතරව වඳුරන්ද ලක්ෂ 40 ක් පමණ සිටින බවට හෙළිදරව් වී ඇතැයි අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අනුපාතයක් ලෙස ගත් කළ සෑම මිනිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට රිලෙවෙකු හෝ වඳුරෙකු වෙන් කළ හැකියි.

කෘෂි භෝග වලට හානි කරන රිළවා, වඳුරා, මොනරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධ සංගණනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු මස 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් තුළදී සිදු කෙරුණා. 

කැලෑ සහ වනාන්තර ප්‍රදේශ හැර දිවයිනේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව මෙම සංගණනය සිදු කළා. 

කෙසේ නමුත්, මෙම සංගණනයේ දත්තසම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවට තහවුරු වී තිබෙනවා. 

ඊට හේතු වී ඇත්තේ ඇතැමුන් රිළවුන් සහ වඳුරන් ගහනය වැඩි අගයකින් සංගණන පත්‍රිකාවේ සඳහන් කර තිබීමයි. 

මේ නිසා ගැටලුදායක දත්ත සහිත තොරතුරු යළි නිවැරදි කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශ වලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යවා නැවතසමීක්ෂණයක් සිදු කිරීම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මිහින්තලේ, කැකිරාව ආදී ප්‍රදේශ ආශ්‍රිතව එම සමීක්ෂණ කටයුතු පසුගියදා නැවතත් සිදු කෙරුණා. 

මේ අනුව, ගැටලුකාරී දත්ත සහිතප්‍රදේශ වල නැවත සමීක්ෂණ කටයුතු ඉදිරි දිනවලදී ද සිදු කිරීමට නියමිතයි. 

ගොවීන් විසින් රිළවා සහ වඳුරාගේ ගහනය සම්බන්ධ දත්තනියමිත සංඛ්‍යාවට වඩා කීප ගුණයකින් සඳහන් කර තිබුණද, මොනරා සහ දඬුලේනා යන සතුන්ගේ දත්ත නිවැරදි ලෙස සටහන් කර ඇතැයිද පැවැසෙනවා.

2025 වසරේ නව ව්‍යාපෘති 34ක්.!

2025 වසරේ නව ව්‍යාපෘති 34ක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “Clean sri lanka” වැඩසටහන යටතේ 2025 වසරේදී නව ව්‍යාපෘති 34ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඉන් ව්‍යාපෘති රැසක කටයුතු අප්‍රේල් මාසය අවසන් වනවිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

රට තුළ සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කරමින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් දීප ව්‍යාප්ත “Clean sri lanka” වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති යෝජනා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතියට සඳහා ඉදිරිපත් කිරීමට එම දෙපාර්තමේන්තුවේ ආකෘති ප්‍රකාරව අදාළ ව්‍යාපෘති යෝජනා සකස් කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමේ වැඩමුළුවක් (10) අරලියගහ මන්දිරයේ ලෝටස් ගොඩනැගිල්ලේ පිහිටි “Clean sri lanka” ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ලෝක දේශපාලනය මත ශ්‍රී ලංකාවේ ආර්ථික බලපෑම අද කොටස් වෙළඳපොළ පෙන්වයි.!

ලෝක දේශපාලනය මත ශ්‍රී ලංකාවේ ආර්ථික බලපෑම අද කොටස් වෙළඳපොළ පෙන්වයි.!

පසුගිය අප්‍රේල් 02 වනදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය නවතම ආනයනික තීරුබදු ප්‍රතිපත්තිය නිවේදනය කිරීමත් සමඟින් ඇතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ලොව පුරා කොටස් වෙළෙඳපොළ රැසක් කඩාවැටීමට ලක්විය. එදින සිට ඊයේ (09) දිනය දක්වා පමණක් 7% කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණි.

මේ අතර ඊයේ (09) දිනයේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය තීරණය ක්‍රියාවට නැංවීම මාස 03ක කාලයක් සඳහා අත්හිටුවනු ලබන බවට නිවේදනය කිරීමත් සමඟම ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව ප්‍රමුඛතම කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

අද (10) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්වූ අතර දිනය අවසානයේදී එහි අගය ඒකක 15,580.83ක් ලෙසින් සටහන් විය.

එහිදී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක සුවිශාල ඉහළ යාමක් වාර්තා කළේ ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් සමගිනි.

සෙසු දිනවලට සාපේක්ෂ ඉහළ ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර රු. බිලියන 6.97ක් ලෙසින් එය වාර්තාවී තිබේ.

මේ අතර S&P sl20 දර්ශකය ඒකක 290.94 කින් දිනය තුළ ඉහළ ගිය අතර එය දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 4,643.63ක් ලෙසින් සටහන්ව තිබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 6.68% ක දැවැන්ත ඉහළ යාමකි.

රටේ ජනප්‍රියතම කමිටුව කටුනායකට කඩා පනී.!

රටේ ජනප්‍රියතම කමිටුව කටුනායකට කඩා පනී.!

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (10) නිකුත්කළ නිවේදනය දැක්වෙන්නේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) ඊයේ (9) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවක නිරත වූ බවයි.

එම නිවේදනය මෙසේය.

සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (2025.04.02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබීය.

ඒ අනුව, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට කෝප් කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (2025.04.09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත විය.

මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය (Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.

එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන් හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය විය.

මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේදීම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්තවූවද, එය එසේ තිබියදීම මෙහි වැඩකටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබු බවට කාරක සභාවට නිරීක්ෂණය විය. මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදු විය.

මෙහිදි කෝප් කාරක සභා සාමජිකයන් උක්ත ජපන් හවුල් සමාගමේ මෙරට නියෝජිතයන් සහ අදාළ ආයතනයන්හි ඉහළ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක නිරත විය.

මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සමාජිකයින්, ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකි බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නිලධාරීන්ට නිර්දේශ කරණු ලැබීය. 

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නුදුරු දිනක නැවතත් කෝප් කාරක සභාවට කැදවීමට තීරණය කරන ලදි.

මෙම ස්ථානීය පරීක්ෂාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු, අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගී වූහ.

දේශබන්දු නිදහස්.!

දේශබන්දු නිදහස්.!

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට පත්විය.

පසුව දින 20කට ආසන්න කාලයක් සැඟව සිටි හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ද නිකුත් කර තිබුණි.

නමුත් මාර්තු 19වනදා ඔහු මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වූ අතර ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇප හිමි වූයේ නැත.

නමුත් අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදාහැරීමට නියෝග කළේය.

දිවයින පුරා ආරක්ෂාව තර කරයි.!

දිවයින පුරා ආරක්ෂාව තර කරයි.!

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කරයි.

මෙම වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරීන් 35,000කට අධික පිරිසක් යොදවා ඇති බවත් ජනතාව බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සිවිල් ඇඳුමෙන් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා රථ වාහන රාජකාරී නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කරයි.

වසර 4කට පසු ලෝක වෙළඳපොළේ අඩුම මිල වාර්තා වෙයි.!

වසර 4කට පසු ලෝක වෙළඳපොළේ අඩුම මිල වාර්තා වෙයි.!

2021 පෙබරවාරි මාසයෙන් පසුව පළමු වතාවට බ්‍රෙන්ට් බොරතෙල් බැරයලක මිල ඩොලර් 60 ට වඩා පහත වැටී ඇති බව වාර්තා වෙයි.

කොවිඩ්-19 වසංගතයට පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් වෙනුවෙන් වාර්තා වූ පහළම අගය මෙය ලෙස වාර්තා වන අතර අමෙරිකාව විසින් ලෝකයේ රටවල් වෙත පැනවූ තීරු බදු හේතුවෙන් ගෝලිය වෙළඳාම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවිනිශ්චිතතාව මේ සඳහා හේතුව වී තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් මිල ගෝලීය තෙල් මිලේ මිණුම් ලකුණක් ලෙස භාවිතා කරයි.

ජනපති හදිසියේම විපක්ෂයේ නායකයින් කැඳවයි.!

ජනපති හදිසියේම විපක්ෂයේ නායකයින් කැඳවයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (10) පෙරවරු 11.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් සඳහායි.

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බව වාර්තා වේ.

පිල්ලයාන් බරපතළ ප්‍රශ්නකිරීමකට ලක් වෙයි.!

පිල්ලයාන් බරපතළ ප්‍රශ්නකිරීමකට ලක් වෙයි.!

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි සන්ත්‍රිකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකපිට නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඊයේ (8) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට.!

කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට.!

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජපක්ෂ පවුලට අයත් ප්‍රදේශයේ නිවසකට අදාළ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව මතයි.