Attention (Sinhala)

විජිත් විජේමුනිගේ ලොරිය සම්බන්ධයෙන් රොෂාන් රණසිංහගේ බිරිඳ වලානට කැඳවයි.!

විජිත් විජේමුනිගේ ලොරිය සම්බන්ධයෙන් රොෂාන් රණසිංහගේ බිරිඳ වලානට කැඳවයි.!

හිටපු අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ ගේ බිරිඳ වන දිනූෂා රණසිංහ ගෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය පැය 3ක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ, නීති විරෝධීව එකලස් කරන ලද රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පසුගියදා අත්අඩංගුවට ගත් අවස්ථාවේ, එම රථය දිනූෂා රණසිංහ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන සමාගමකින් මිල දී ගත් එකක් බවට අනාවරණය වීම හේතුවෙනි.

ට්‍රම්ප් ඊලෝන් ආණ්ඩුවේ කඩා වැටීම ඇරඹෙයි.!

ට්‍රම්ප් ඊලෝන් ආණ්ඩුවේ කඩා වැටීම ඇරඹෙයි.!

විදෙස් මාධ්‍ය පවසන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව අමෙරිකාවේ විරෝධතා රැසක් ආරම්භවී ඇති බවයි.

ඊයේ (05) දිනයේදී අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළු ස්ථාන 1,200ක අමෙරිකානු ජනාධිපතිවරයාට සහ එලොන් මස්ක්ට එරෙහිව විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බව පැවසේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී තිබේ.

විරෝධතාකරුවන් පවසා ඇත්තේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවය.

එමෙන්ම අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවත් එම විරෝධතාවට එක්වූවන් චෝදනා කර තිබේ.

මීගමුව රෝහලේ අතවරයට පත් තරුණිය පරීක්ෂාවට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්.. GMO සහයත් ලැබෙයි.!

මීගමුව රෝහලේ අතවරයට පත් තරුණිය පරීක්ෂාවට විශේෂ වෛද්‍ය මණ්ඩලයක්.. GMO සහයත් ලැබෙයි.!

පොලිස් මූලස්ථානය පවසන්නේ මීගමුව මහ රෝහලේදී තරුණියකට ලිංගික අතවරයක් සිදුවූ බවට මීගමුව පොලීසිය ලද පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර ඇති බවයි.

අදාළ තරුණිය දත් කැක්කුමකට සහ සමේ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පසුගිය මස 31 වැනි දින ඇගේ මව සමග මීගමුව මහ රෝහලට පැමිණ ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් ඇයව ලිංගිත අතවරයට ලක් කළ බවට මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂ හරහා මීගමුව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.

කෙසේවෙතත් පොලීසිය පවසන්නේ අදාළ තරුණිය පසුගිය 02 වැනි දින අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් නමුත් එහිදී ලබා දුන් වෛද්‍ය වාර්තාව සම්බන්ධව අදාළ තරුණිය සෑහිමකට පත් නොවන බැවින් විශේෂ වෛද්‍ය මණ්ඩලයක් යටතේ වින්දිත කාන්තාව පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගත් බවයි.

මේ අතර අදාළ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලද අයෙකු බවට සිදුවීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කර මුනිවත රැකගත්හ.

ඒ ඔහු සිය සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විනය විරෝධීව හැසිරීම හේතුවෙන් වසර කිහිපයකට පෙර සිය සංගමයෙන් ඔහුව නෙරපා හැරිය බව පවසමිනි.

කෙසේ වුවත් රජයේ රෝහලක් තුළ සිදුව ඇති මෙම බරපතළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වහාම නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද එම සංගමය පවසයි.

ඒ අනුව අදාළ විමර්ශන සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය උපරිම සහාය ලබා දෙන බවත් සෞඛ්‍ය සේවාව තුළ පමණක් නොව සමස්ත සමාජය තුළද කාන්තාවගේ ආරක්ෂාව තහවුරු විය යුතු බවට සිය සංගමය විශ්වාස කරන බවත් ඒ වෙනුවෙන් වඩා ශක්තිමක් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීම වෙනුවෙන් අවශ්‍ය නායකත්වය ලබා දීමටද සිය සංගමය සූදානම් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අද මාර්ග කිහිපයක් වසා දමයි.. පොලීසියෙන් දැනුම්දීමක්.!

අද මාර්ග කිහිපයක් වසා දමයි.. පොලීසියෙන් දැනුම්දීමක්.!

අද (06) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට නියමිත අතර ඒ හේතුවෙන් අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව පෙරවරු 8.00 සිට දහවල් දක්වා අනුරාධපුර ගුවන් තොටුපළ පාර, රෝහල් වට රවුම, අලියා වට රමුව, ජයන්ති වට රවුම හා උඩමළුව මාර්ගය, වරින් වර වසා දැමෙන බව පොලීසිය සදහන් කරයි.

ඇමරිකානු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර මුදල් අමාත්‍යංශය පවසයි.!

ඇමරිකානු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි පියවර මුදල් අමාත්‍යංශය පවසයි.!

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෙළඳ ශේෂය සාධාරණ අයුරින් කළමනා කරණය කිරීම සඳහා කඩිනමින් අමෙරිකානු පරිපාලනය සමඟ සම්බන්ධ වන අතර, වෙළඳාමට සහ ආයෝජනයන්ට අදාල බදු සහ බදු නොවන බාධා සැළකිය යුතු ලෙස අඩු කිරීමටත් සූදානම් බවයි.

එම නිවේදනය මගින් වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාව 2023 මාර්තු මාසයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමක නිරතව සිටින අතර, වැඩ සටහනේ තුන්වන සමාලෝචනය සාර්ථකව නිම කර ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහය දැක්වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන ස්ථාවර සහයෝගය, විශේෂයෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සඳහා දක්වන සහයෝගය අගය කොට සලකන බවයි මුදල් අමාත්‍යංශය සිය නිවේදනය මගින් අවධාරනය කර ඇත.

“මෝදිගේ ගිවිසුම් එපා” කොටුවේ විරෝධතාවක්.!

“මෝදිගේ ගිවිසුම් එපා” කොටුවේ විරෝධතාවක්.!

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ‌කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (5) පස්වරුවේ පැවැත්විණි.

ඒ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමිනි.

“ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා” යන තේමාව යටතේ විරෝධතාව පැවැත්වූ අතර එම පක්ෂයේ සාමාජිකයන් පමණක් උද්ඝෝෂණයට සහභාගීවි සිටියහ.

ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායම මියන්මාරයට.!

ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායම මියන්මාරයට.!

පසුගිය දා ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විතවෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (අප්‍රේල් 05) දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත් විය.

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ. ඉතා කෙටි කාලයක් තුල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

ථේරවාදී බුදු දහම නැවත අප රටේ ස්ථාපිත කිරීමට දායකත්වය ලබා දුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන්, දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලදුව එක් රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමඟ මියන්මාර රජය වෙත ලබාදීමට කටයුතු කරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට මූලිකත්වයෙන් කටයුතු කරනු ලැබූ අතර, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ද, මෙම මහගු කර්තව්‍යය වෙත සිය සහයෝගය දක්වන ලදී.

මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීම මනාව පිළිඹිබු කරයි.

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශකයක්.!

ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ ප්‍රකාශකයක්.!

ඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක සබඳතා පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා අදහස් දක්වයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දශක ගණනාවක් මුළුල්ලේ සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරනු ලබන අතර, ආරක්ෂාව හා සම්බන්ධ සංවාද, ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් මෙන්ම වැඩමුළු ආදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් තුලින් මෙම සබඳතා ශක්තිමත්ව ක්‍රියාත්මක කරනු ලබයි. මීට සමගාමීව, ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750 කට පමණ අදාළ විෂයානුබද්ධ පුහුණුවීම් ලබා දෙයි. ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කෙරෙන අතරම මේ දක්වා එම සහයෝගය අඛණ්ඩව ලබාදීම විශේෂත්වයකි.

2023 වර්ෂයේ පැවති ආරක්‍ෂක සංවාදයේදී, ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව සහ සම්බන්ධතාවන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්, ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඔස්සේ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළවිය.

ශ්‍රී ලංකාව අනෙකුත් ‍රටවල් සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම වසරේ ජනවාරි මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයෙහි දැක්වෙන උපදෙස් ප්‍රකාරව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අවබෝධතා ගිවිසුම ඉතා ගැඹුරින් පරීක්ෂා කොට සමාලෝචනය කර ඊට අදාළ වන පරිදි සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව එළඹි නිගමනයන්ට අනුව සකස් කරනු ලැබූ අවසන් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට පෙර ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද නිසි අයුරින් ලබා ගැනීමට කටයුතු කරන ලදී.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකෙරේ.

තවද, මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගීතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අවස්ථාවන්හිදී, දෙපාර්ශ්වයේ ජාතික හා හමුදාමය නීති සහ රෙගුලාසි මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අදාළ මූලධර්ම සහ අරමුණු වලට ගරු කිරීමට ඉන්දු- ශ්‍රී ලංකා දෙපාර්ශ්වයම කැපවී සිටින අතර, එම ක්‍රියාකාරකම් මගින් දෙරටේ ස්වෛරීභාවයේ සමානාත්මතාවය, භෞමික අඛණ්ඩතාව මෙන්ම දෙපාර්ශවයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම හා උල්ලංඝනය නොකිරීම යන මූලධර්ම ඇතුළත් වේ.

දෙරට අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මගින් දෙරටේ ආරක්‍ෂක සබඳතා සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙන අතර එමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සතු දැනුම හුවමාරුකර ගැනීමේ වැඩසටහන්, පුහුණුවීම්, ජ්‍යෙෂ්ඨ හමුදා මාණ්ඩලික සාකච්ඡා, තොරතුරු හුවමාරු වැඩසටහන්, සීඝ්‍රයෙන් දියුණු වන ආරක්‍ෂක මෙන්ම ආරක්‍ෂක තාක්‍ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය යන විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් වඩා වෘත්තීයමය ආකාරයකින් සිදු කිරීම සහතික කෙරේ.

මාස තුනක පූර්ව දැනුම්දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඇති අයිතිය සහිතව වසර 05 ක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති මෙම අවබෝධතා ගිවිසුම ඉන්පසු වසර තුනක් දක්වා අඛණ්ඩව පවත්වා ගනිමින් ඊට අදාළව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට හා ඒ ඔස්සේ ලබාගන්නා නිගමන ඔස්සේ ගිවිසුම අවසන් කිරීම සමාලෝචනය කිරීමට යටත්ව, එසේ කිරීමට අවශ්‍ය නම්, පෙර කී පූර්ව දැනුම්දීමට සමාන දැනුම්දීමක් ඔස්සේ ගිවිසුම අවසන් කිරීමට ද හැකියාව ඇත.

වැඩබලන පොලිස්පතිගේ තටු කපයි.!

වැඩබලන පොලිස්පතිගේ තටු කපයි.!

පොලිස් ස්ථානාධිපතිවරු ඉවත් කිරීම සදහා වැඩබලන පොලිස්පතිවරයාට ලබාදී තිබු බලය ඉවත් කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව සදහන් කරයි.

පොලිස් කොමිෂන් සභාවේ බලතල සහ ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විවිධිධාන, වැඩබලන පොලිස්පතිවරයා උල්ලංගණය කර ඇති හෙයින් මෙම තීරණය ගත් බව පොලිස් කොමිෂන් සභාව සදහන් කරයි.

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථානමාරු කර ඇත්තේ පොලිස් කොමිෂන් සහ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් නොකර සහ එය රට තුළ මහත් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිකර ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයාට ලබාදී තිබූ බලය ඉවත් කළ බව එම කොමිෂන් සභාව සදහන් කරයි.

ගාල්ලේ වෙඩි තැබීමක්.!

ගාල්ලේ වෙඩි තැබීමක්.!

ඇල්පිටිය, ඌරගස්මංහන්දිය, බෙලිගස්වේල්ල ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු කළ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ත්‍රිරෝද රියකින් ආ නාඳුනන පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.