Attention (Sinhala)

මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!

මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි මේ වනවිට පදිංචිව සිටිනා මන්ත්‍රීවරුන් 108 දෙනාට ඉන් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු බලධාරීන් පවසයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත් වැඩියාවකට ලක් කිරීමේ අවශ්‍යතාවය මත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබා දියයුතු බැවින් ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.

එම දැනුම්දීම අනුව මන්ත්‍රීවරුන් 6 දෙනෙකු දැනට එම නිවාස වලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

එම නිවාස සංකීර්ණයේ මන්ත්‍රී නිවාස 120න් 108ක මන්ත්‍රීවරු පදිංචිව සිටිනා අතර ඉතිරි නිවෙස් වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.

සිවිල් පුරවැසියන් සතු ආත්ම ආරක්ෂක ගිනි අවි නැවත කැඳවයි.!

සිවිල් පුරවැසියන් සතු ආත්ම ආරක්ෂක ගිනි අවි නැවත කැඳවයි.!

ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත්තේ ආත්ම ආරක්ෂාව සඳහා ලබාදී ඇති ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07) පෙර බාරදීමට කටයුතු කරනා ලෙසයි.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ගිනි අවි සහ පතුරම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව නැවත එම ගිනි අවි ලබාදීමට කටයුතු කරනා බවයි.

කෙසේවෙතත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බවයි.

ජනපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට.!

ජනපතිවරුන්ගේ නිල නිවාස මහජන ප්‍රදර්ශනයට.!

ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ පාලකයන්ගේ වරදින් ජනතාව දුක් විඳිද්දී මේ රටේ නායකයන් ගත කළ සුඛෝපභෝගී දිවි පෙවත ජනතාවට දැක ගැනීම සඳහා ඉදිරියේදී විශ්‍රාමික ජනාධිපතිවරු භාවිත කළ නිල නිවාස ජනතා ප්‍රදර්ශනයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට්හිදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටි අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ, ඉදිරියේදී එම නිල නිවාස මහජන ප්‍රදර්ශනය කරනු ඇතැයි බියෙන් ඇතැම් පිරිස් මේ වන විටත් එම නිල නිවාසවල තිබූ සුඛෝපභෝගී බඩු බාහිරාදිය වෙනත් ස්ථානයන්ට ගෙන යෑමේ උත්සාහයක නිරතවී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසූවේ,

“මේ රටේ දේශපාලනඥයන් ජනතාවගේ සම්පත් පාවිච්චි කළ ආකාරය නොදැන සිටි අය ඒවා දැනගත යුතුයි, ඒ වෙනුවෙන් තව තවත් ප්‍රදර්ශන පවත්වන්න අපි බලාපොරොත්තු වනවා, ජනතා මුදල් කාබාසිනියා කරමින් සිඟිති ආතල් ගත්තු උදවියට මේවා ගැටලුවක් වෙන්න පුලුවන්”

උද්දමනයට මුවා වී ගෙන ගිය වෙළඳ මාෆියාව මඩින්න අගමැති නියමයෙන් පියවර.!

උද්දමනයට මුවා වී ගෙන ගිය වෙළඳ මාෆියාව මඩින්න අගමැති නියමයෙන් පියවර.!

වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යංශය පවසන්නේ අමාත්‍යවරියගේ නියමයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමේ නව වැඩපිළිවෙළක් සකස් කිරීම ආරම්භ කළ බවයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (03) විෂය භාර අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරිය විසින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බව අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා පත්කෙරෙන කමිටුවක් මඟින් වෙළඳ පොළේ මිළ ගණන් සමාලෝචනය කර එහි මිල පරාසයන් පිළිබඳව විශ්ලේෂණ වාර්තාවක් සකස් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම වාර්තාව සකස්කිරීමෙන් අනතුරුව මෙරට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් කැඳවා මිල අඩුකිරීමෙ අවශ්‍යතාව පිළිබඳව කරුණු සහිතව සාකච්ඡා කිරීමටද නියමිතයි.

මම රාජ්‍ය ඇමති කෙනෙක් විදියට වටේම ගිය කෙනෙක්.. මට දුන්නේ කැඩිච්ච වාහන විතරයි.!

මම රාජ්‍ය ඇමති කෙනෙක් විදියට වටේම ගිය කෙනෙක්.. මට දුන්නේ කැඩිච්ච වාහන විතරයි.!

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ තමා සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සිටියදී රජයෙන් ලබාදුන් සියලුම වාහන අබලන් ඒවා බවයි.

සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස තමා රට වටේම ගිය කෙනෙක් බවත් එම බොහෝ අවස්ථාවලදී තමාට ලබාදී තිබූ වාහන මහ මග කඩා වැටුනු බවත් ඇය පවසයි.

එමෙන්ම ඇය පවසන්නේ එම වාහන අලුත්වැඩියා කිරීමට මුවාවී ඇතැම් නිළධාරීන් අසීමිත ලෙස හොරකම් කළ බවට තමා සතුව ශාක්ෂිද පවතින බවයි.

මහ මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. බන්දුලත් සමුගනී.!

මහ මැතිවරණයට ඉල්ලන්නේ නෑ.. බන්දුලත් සමුගනී.!

හිටපු ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ තමන් වසර විස්සකට වැඩි කාලයක් හෝමාගම මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය තනතුරු ගණනාවක් දරමින් කළ හැකි උපරිමයෙන් ජනතාව වෙනුවෙන් සේවය කළ බවත් ඒ මහතා පැවසීය

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය සදහා මහජන නියෝජිතයකු නොමැතිව වසර ගණනාවක් අසරණව සිටි හෝමාගම මැතිවරණ කොට්ඨාසය ජනතාව වෙනුවෙන් එම නගරය දැනුමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් ප්‍රඥා බන්දු පුරවරයක් බවට පත්කරලීම සඳහා කළ හැකි සියල්ල සිදු කල බවත් ඒ පිළිබඳව තමන්ට අවංක සතුටක් ඇති බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම ඉදිරි වසර කිහිපයේදී තම ඉගෙනුම් කටයුතු සදහා කාලය යෙදවීමටත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටත් අදහස් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

එන ඡන්දෙන් මාලිමාව ආසන 120ක් ගන්නා සැටි ගම්මන්පිල ගණන් හදා පෙන්වයි.!

එන ඡන්දෙන් මාලිමාව ආසන 120ක් ගන්නා සැටි ගම්මන්පිල ගණන් හදා පෙන්වයි.!

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව අතින් බරපතල වරදක් සිදු නොවුව හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 120ක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව ඔවුන් සතු බවයි.

ඊයේ (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විපක්ෂයේ සමහර පක්ෂ අගමැති අපේක්ෂකයින් පවා නම් කිරීම හරහා ඔවුන් ලංකාවේ දේශපාලනය පිළිබඳවත් මැතිවරණ පිළිබඳ ඇති අනවබෝධය ප්‍රදර්ශනය කරනා බවත් එවැනි පක්ෂ සහ නායකයින් ආණ්ඩු කිරීමට තබා විපක්ෂය බාරදීමටවත් නුසුදුසු බවත් ය.

1989, 2010, 2015 සහ 2020 දී මින් පෙර හතර වතාවක් ජනපතිවරණයෙන් මාස 9ක් ඇතුලත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇති බව පෙන්වාදෙන ගම්මන්පිල මහතා ඒ සෑම පාර්ලිමේන්තු මැතිවරණ අවස්ථාවකම ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය විසින් පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කර ඇති බව පවසයි.

ඔහු පවසන්නේ ජනපතිවරණයේ දී ලැබුණු ඡන්ද ඒ අයුරින්ම ලැබුණත් මාලිමාව මන්ත්‍රී ධූර 105ක් හිමිවන බවත් මේ වනවිට ප්‍රධාන විපක්ෂය පරාජයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයට උනන්දුවක් නොදැක්වීම තුල ආණ්ඩු පක්ෂයට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 120ක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව පවතින බවයි.

ජනපති සිය ප්‍රථම නිල විදේශ සංචාරයට සැරසෙයි.!

ජනපති සිය ප්‍රථම නිල විදේශ සංචාරයට සැරසෙයි.!

ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් විසින් සිදු කරන ලද ආරාධනය පිළිගැනීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සිදුකරන සාකච්ඡාවක් සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට නියමිත බවයි.

නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණීමට ජනාධිපති දිසානායක වෙත ඉන්දීය ආරාධනා ලැබෙන්නේ ශ්‍රී ලංකා ජන රජයේ සෑම නායකයෙක්ම සිය ප්‍රථම නිල සංචාරය ඉන්දියාව වෙත කරනු ලබන සම්ප්‍රදාය තුළය.

අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසුව ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් මහතා වෙයි.

ජනපතිවරයාගේ සංචාරයේදී ශ්‍රී ලංකාවේ ඉන්දිය අරමුදල් සපයන ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මල්වතු නා හිමියන්ගෙන් AKD ට මල් මිටක්.!

මල්වතු නා හිමියන්ගෙන් AKD ට මල් මිටක්.!

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ සුමංගල නාහිමියෝ පවසන්නේ ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කළ ප්‍රකාශ සියල්ල බොරු වී ඇති බවයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජාතික භික්ෂු පෙරමුණ සාමාජික භික්ෂූන් වහන්සේලා පිරිසක් මහ නාහියන් බැහැදුටු අවස්ථාවේදීය.

මෙහිදී ජාතික භික්ෂු පෙරමුණ සාමාජික භික්ෂූන් වහන්සේලා පැවසූවේ ඇතැම් භික්ෂූන් වහන්සේලා පමණ ඉක්මවා කටයුතු කළ බවයි.

එමෙන්ම නව ජනපති අනුර කුමාර දිසානායක මහතා පත්වී සති දෙකක පමණ කෙටි කාලය තුළ විශාල වෙනසක් රට තුළ සිදු කර ඇතැයි ද උන්වහන්සේලා සඳහන් කළහ.

ජනතා සහන වලට මැතිවරණ කොමිසමෙන් ඉඩ ලැබෙයි.!

ජනතා සහන වලට මැතිවරණ කොමිසමෙන් ඉඩ ලැබෙයි.!

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති රජය මගින් එම මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී අනුමත කළ ජනතා සහන මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ ඒ අනුව ගොවීන් සඳහා ලබාදීමට නියමිත රුපියල් 25,000ක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා වූ ඉන්ධන සහනාධාරය සහ විශ්‍රාමිකයන් සඳහා වූ රුපියල් 3,000ක දීමනාව ඇතුළු දීමනා ජනතාව වෙත ලබාදීමට හැකියාවක් පවතින බවත් එම සහන අත්හිටුවනු ලැබුවේ ජනාධිපතිවරණය අවසන් වනතෙක් පමණක් බවයි.