Attention (Sinhala)

ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් කටුනායක ඝාතනයක් වැළකෙයි.!

ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් කටුනායක ඝාතනයක් වැළකෙයි.!

අද (22) උදෑසන කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී ඇති බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකට උත්සාහ කර ඇති නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නැති බව පැවසේ.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.. ජනතාවට දැනුම්දීමක්.!

නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.. ජනතාවට දැනුම්දීමක්.!

ශ්‍රී ලංකා පොලීසිය විසින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.

එම ලිපියේ සඳහන් කරුණු කිසිදු නෛතික පදනමක් නොමැති එකිනෙකට නොගැලපෙන වචන භාවිතා කර පසුබිමින් ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය, ශ්‍රී ලංකා පොලිස් නිල ලාංඡනයට සමාන ලෙස ලාංඡන මුද්‍රණය කර සකස් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දන්වා සිටියි.

මෙම ලිපිය හිතාමතාම ඉතා සැලසුම් සහගත ලෙස පොලීසිය අපහසුතාවයට පත් කිරීමට සහ මහජනතාව නොමග යැවීම අරමුණු කරගෙන සකස් කරන ලද ලිපියක් බවට නිරීක්ෂණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාර්ථකයි.. ජනපති අනුරගෙන් ප්‍රකාශයක්.!

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාර්ථකයි.. ජනපති අනුරගෙන් ප්‍රකාශයක්.!

ඊයේ (21) කුරුණෑගල පැවැති ජාතික ජන බලවේගයේ මැතිවරණ ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කෙරෙන විමර්ශනවල සාර්ථක ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතින බවයි.

එම පරීක්‍ෂණවලට අදාල සමහර සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

“පාස්කු ප‍්‍රහාරයට අවුරුදු හයක් පිරෙනවා. මේ අවුරුදු හයෙන් අවුරුදු පහ හමාරක්ම ගෙවුනේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ හොයන්න නෙවෙයි යටපත් කරන්න. කොච්චරද කියනවනම් ජනාධිපති විමර්ශන කොමිසමක් පිහිටෙව්වා. ඒකෙන් වාර්තාවක් ආවා. කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් තිබුණා. ඒ වාර්තාව ක්‍රියාවට නගන්නේ නෑ කියලා.

ඒ කියන්නේ මොකක්ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන දියත් කරන ආණ්ඩු නෙමෙයි අවුරුදු පහ හමාරක් තිබ්බේ පාස්කු ප්‍රහාරය යටගැසීම සඳහා ආණ්ඩු. අවුරුදු පහමාරකින් ගොඩක් දේවල් යට ගහන්න පුළුවන් ගොඩක් දේවල් හංගන්න පුළුවන්.

දැන් මාස හයයි විමර්ශනය කරන ආණ්ඩුව ඇවිල්ලා. අපි විමර්ශනය කරනවා සමහර සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව වාර්තා වෙනවා. අපි ඇඟිලි ගහන්නෑ. ඉතාම ස්වාධීන විමර්ශනයකට අපි ඉඩකඩ විවර කරලා දීලා තිබෙනවා.

එනිසාම වින්දිතයන්ට සාධාරණය ඉදිහත් ඉටුකිරීම සඳහා මැදිහත් වන ආණ්ඩුව තමයි අපේ ආණ්ඩුව.”

හිටපු රනිල්ට දින දෙයි.!

හිටපු රනිල්ට දින දෙයි.!

අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එළැඹෙන (25) වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

එළැඹෙන (25) වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසමට කැදවා ඇත.

දේශබන්දුට වැඩ වරදී.! [Breaking News]

දේශබන්දුට වැඩ වරදී.! [Breaking News]

මේ වන විට අධිකරණයෙන් වැඩ තහනමට ලක්ව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නැවතත් වරක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස කැඳවීමක් කර තිබේ.

ඒ අනුව ලබන 25වන සිකුරාදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබේ.

පසුගිය අප්‍රේල් 10වනදා දේශබන්දු තෙන්නකෝන් මහතාට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප හිමි වූ දින අධිකරණ නියෝග කඩ කරමින් අධිකරණ භූමියට මෝටර් රථයක් ගෙන්වාගෙන පිටත්ව යෑම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා සූදානම් බැවින් හිටපු පොලිස්පතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත්කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු දක්වා ඇති බව වාර්තා වෙයි.

පසුගිය අප්‍රේල් 10වනදා ඇප හිමිවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නීතිඥයින් විසින් ඔහුගේ මෝටර් රථය උසාවිය භූමි තුළට ගෙනවිත් ඔහු රැගෙන යෑම සඳහා අවසර ලබා දෙන ලෙසත් අධිකරණ භූමියෙන් ඉවත්ව යන තෙක් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටි නමුත් අධිකරණයෙන් ඊට අවසර නොලැබිනි.

කෙසේවෙතත් එම නියෝගය ක්ෂණයකින් කඩකරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා සුපිරි මෝටර් රථයකට උසාවි භූමිය තුළින්ම නංවාගෙන ඉගිල යනු අයුරු මාධ්‍ය වාර්තා කර තිබිනි.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගැසීමේ පාරරාජ්‍යයක් අදටත් ක්‍රියාත්මකයි.. කාදිනල් හිමි පවසයි.!

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යට ගැසීමේ පාරරාජ්‍යයක් අදටත් ක්‍රියාත්මකයි.. කාදිනල් හිමි පවසයි.!

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානයේ පැවැත් වෙන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ප්‍රධාන අනුස්මරණ දේව මෙහෙයට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විශේශ ප්‍රකාශයක් සිදුකළේය.

උන්වහන්සේ පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ එම පරාජිත දේශපාලන බලවේගවලට යටවූ විවිධ රජයේ ආයතන මෙහෙයවන පාරරාජ්‍යයක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කළ උන්වහන්සේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය නීතිය හමුවට ඉතා ඉක්මනින් ගෙන්වනු ඇතැයි තම ඒකායන බලාපොරොත්තුව බව ද සිහිපත් කළේය.

එනම්,

1. පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම.

2. පාස්කු වැඩිදුර වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම.

3. ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම.

4. 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම.

5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් 4 මගින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පුර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම.

6. පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය.

7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම.

“පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුල ද ලිවේරා මහතා මහා කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස ඇතැයි කියූ ප්‍රකාශයවත් තුට්ටුවකටවත් නොසලකා හැර එම තනතුරට පසුව පැමිණි නීතිපතිවරයා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද මේ ප්‍රහාරයේ පසුබිම හා එහි නීතිමය කටයුතු ගැන දැක්වූ මන්දගාමී හා පවතින පාලකයින්ට ළෙන්ගතුව ක්‍රියාකිරීමේ පිළිවෙත ද අද වෙනතුරුම මෙම නිලධාරීවාදයේ දක්වන සීතල වතුර ඉසීමේ ප්‍රතිපත්තිය නිසා ජනතාව විසින් පත්කරගන්නා ලද රජයකට විරුද්ධව හෝ තීරණගැනීමට ශක්තියක් ඇති පාරරාජ්‍යයේ ක්‍රියාකාරීත්වය කොතරම් දුරටත් බලවත්දැයි අපිට පෙන්වනු ලැබීය. 

අතිගරු ජනාධිපතිතුමන් ඉතා උනන්දුවෙන් මේ කටයුත්තට අතගසා ඇතත් එය මෙහෙයවීමට උසස් නිලධාරීන් කණ්ඩායමකට පවරා ඇතත් පවතින නීති පද්ධතිය හා එය ක්‍රියාවට නැංවීම භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී පැවැත්ම ඉදිරි කටයුතු විවිධ බාධක මධ්‍යයේ සිදුවන තත්ත්වයකට පත්ව ඇත. ජනතාව විසින් පවතින රජයට තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ අවශ්‍ය ලෙස ව්‍යවස්ථාමය හා නෛතික වෙනස්කම් කරමින් ශ්‍රී ලංකා දේශය ලෙයින් තෙත් කළ ඇතැම් දේශපාලනික හා දාමරික බලවේග හෙළිදරව් කරමින් මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, සුදු වෑන්, වධකාගාර, පාතාල ක්‍රියාකාරකම්, පෞද්ගලික හමුදා ආදිය තුළින් අප ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ අය හඳුනාගෙන, ඒ අය නීතිය හමුවට ගෙන එන්නට ඉක්මනින් ක්‍රියා කරනු ඇතැයි සිතමිනි.

පාස්කු ප්‍රහාරයේ දීර්ඝ කඳුළු කතාවේ තවත් එක් පරිච්ඡේදයකි. දැනට පවතින නීතිරීති, යුක්තිය ඉටුකර රට පිරිසිදු කිරීම සඳහා නොසෑහේ නම් කළ යුත්තේ ඒ නීතිරීති වෙනස් කිරීමට ධෛර්යවන්ත වීමයි. ඒ සඳහා මේ රටේ පොදු ජනතාව ඉතා උනන්දුවෙන් පවතින රජයට සහාය දැක්වූ බව පැහැදිලිය. ඒ අනුව අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ සිදුවූ සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපාලනිකව ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ක්‍රියාදාමයන්ගෙන් අප සමාජය පිරිසිදු කිරීමට ක්‍රියාකාරී වන ලෙසයි. ජනාධිපතිතුමනි, මේ ප්‍රහාරයේ අහිංසකයින් ලේ හැලීම ඔබ තුමන් 2024 ඔක්තෝබර් 6 වන දින මීගමුවේ කටුවාපිටියේ දී පොරොන්දු වු ලෙසම, කාලයේ වැලිතලාවට යට වන්නට ඉඩ නොදී මෙහි සත්‍ය පසුබිම සොයා එයට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනු ඇතැයි අපගේ ඒකායන බලාපොරොත්තුවයි.”

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ කියපු අයගේ සම්බන්ධකම් හෙළිවෙයි.!

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නෑ කියපු අයගේ සම්බන්ධකම් හෙළිවෙයි.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවත් නව දිශානතියක් ඔස්සේ මෙම විමර්ශන කෙරෙමින් පවතින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

මේ වනවි⁣ට යම් යම් පුද්ගලයන් සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබුණද ඒවා දැන්ම ප්‍රකාශයට පත්කළ නොහැකි බවත් මෙතෙක් කට ඇරපු නැති අය කට අරින්න පටන් අරන් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නෑ කියපු අයගේ සම්බන්ධතා ගැන මේ වනවිට හෙළිවෙමින් පවතින බවත් ඉදිරියේදී තවත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ ඒ පිළිබඳව ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇති බවත් විමර්ශන වත්මන් ආණ්ඩුව බලයට පත් වනතෙක් එක තැන පල්වෙමින් තිබූ බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වනවිට වේගවත්ව කෙරෙමින් පවතින බවත් මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට සහතික වන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

පොළොන්නරුවේදී පැවැති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

ආණ්ඩුවේ සභාපතිවරයෙකුට එරෙහි දූෂණ චෝදනාවක්.!

ආණ්ඩුවේ සභාපතිවරයෙකුට එරෙහි දූෂණ චෝදනාවක්.!

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් සිදුකරමින් පවසන්නේ විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනා ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා නීති විරෝධී ලෙස වෙනම ආයතනයක් පවත්වාගෙන යමින් විදුලිබල මණ්ඩලයට සේවා සපයන බවයි.

විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා පවසන්නේ මෙලෙස ආයතනයක සභාපති ධුරය දරමින් ඔහුගේ නමින් වෙනම සමාගමක් පවත්වාගෙන යෑම නීති විරෝධී සහ ආයතන විරෝධී ක්‍රියාවක් බවයි.

ආණ්ඩුවට තමන් පත් කළ පුද්ගලයන්ගේ වංචා, දූෂණ නොපෙනෙන බවත් එහෙයින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම සභාපතිවරයා පුනර්ජනනීය විදුලිය විනාශ කරමින් පොසිල ඉන්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන බවටද එම සංගමය චෝදනා කරයි.

ගම්පහ සුප්‍රසිද්ධ චරිතයක් ඝාතනය සඳහා එමින් සිටි වෙඩික්කරුවන් අල්ලයි.!

ගම්පහ සුප්‍රසිද්ධ චරිතයක් ඝාතනය සඳහා එමින් සිටි වෙඩික්කරුවන් අල්ලයි.!

ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් අද (19) T 56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ තවත් සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට එමින් සිටි බවය.

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු හා වැවිලිකරුවකු වූ ඔස්මන්ඩ් මරා දමන්නට පාතාල කල්ලි වසර ගනනාවක් පුරා උත්සාහ ගනිමින් සිටී.

දෙවතාවක්ම ඔවුන් ඔස්මන් මරා දමන්නට සැලසුම් කළද ඔහු එම දෙවතාවෙන්ම බේරුණේය.

මීට පෙර උහු ඝාතනය කිරීම සඳහා තෙවතාවක් සැලසුම් කර තිබූ අතර තුන්වැනි වතාවේ කොන්ත්‍රාත්තුව රුපියල් ලක්‍ෂ පනහක් බව එවකට අනාවරනය විය.

මේ ඔහු ඝාතනය කිරීම සඳහා උත්සාහ කළ සිව්වන වතාවයි.

දළඳා වඳින්න පහසුකම් පුළුල් කරයි.!

දළඳා වඳින්න පහසුකම් පුළුල් කරයි.!

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ඉහළ යාම හේතුවෙන් නව අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට පියවර ගත් බවයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ අද (19) සිට එළැඹෙන 28 වැනිදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමටයි.

එම දුම්රිය මහනුවර දක්වා දුම්රියක් සෑම දිනකම පස්වරු 07.55ට ‍කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10.27 ළඟා වී රඹුක්කනින් පස්වරු 10.40ට යළි පිටත්ව මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමටද නියමිත ව තිබේ.

එමෙන්ම මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම පස්වරු 08.30ට දුම්රියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 09.50ට ළඟා වීමට නියමිත අතර රඹුක්කනින් පස්වරු 10.35ට යළි කොළඹ බලා පිටත් වීමටද නියමිත අතර එම දුම්රිය කොළඹ කොටුවට දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට නියමිතය.