Attention (Sinhala)

දිවයින පුරා වැටලීම් දැඩි වෙයි.!

දිවයින පුරා වැටලීම් දැඩි වෙයි.!

මෙම උත්සව සමයේ පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර ඇති බවත් බීමත් රියදුරන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කරයි.

උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව, 35,000 අධිකයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් තීරණයක්.!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් තීරණයක්.!

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මූලික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ  හර්ෂණ නානයක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වා තිබේ.

එහිදි මෙම කමිටුව පත් කර ඇති අතර දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රථිපත්තිය බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

නව පනත ගෝලීය ත්‍රස්තවාදයට සහ අභියෝගයන්ට මුහුණදිය හැකි ආකාරයේ පනතක් විය යුතු අතර අන්තර් ජාතික වශයෙන් පිළිගන්නා මෙරට ව්‍යවස්ථාවෙන් ද සහතික කර ඇති මානව හිමිකම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් කඩ නොවන අකාරයේ පනතක් විය යුතු බව හර්ෂණ නානයක්කාර අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

පත් කර ඇති මෙම නව කමිටුව ඉතා කෙටි කාලයක් තුළ මෙම පනත අහෝසි කිරීමට අදාල කරුණු සාක්ෂාත් කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් මැයි මස මුල් කාලය තුළ මහජන අදහස් හා සිවිල් සංවිධානවල අදහස් ගැනීමට මෙන්ම අන්තර් ජාතික ආයතන හා ප්‍රජාවන්ගේ අදහස් ලබා ගැනීමට ද නියමිතය.

කොටහේන පොලිස් වෙඩි තැබීමේ සුල මුල හෙළි වෙයි.!

කොටහේන පොලිස් වෙඩි තැබීමේ සුල මුල හෙළි වෙයි.!

පොලීසිය විසින් කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (12) සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වෙයි.

අණ නොතකා පලා යමින් සිටි මෝටර් රථයකට පොලීසිය විසින් ඊයේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර අදාළ මෝටර් රථය සැකකරු විසින් කොල්ලකා පලා යමින් තිබූ එකක් බව අනාවරණය වී තිබේ.

කොටහේන පොලිස් වසමේ වාසල පාර, කොටහේන වීදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී කාලයේ තම ගැබිණි බිරිඳ හා මව සමඟ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මෝටර් රථයේ එන්ජිම පණගන්වා තිබියදී ද ආහාර මිලදී ගැනීම සඳහා මෝටර් රථයෙන් බැස කොටහේන වීදියේ පිහිටි අවන්හලක් වෙත ගොස් ඇත.

එම අවස්ථාවේ දී සැකකරු විසින් රියදුරුගේ බිරිඳ හා මව කාර් රථය තුල සිටියදීම පණගන්වා තිබූ කාර් රථය කොල්ලකා පලා ගොස් තිබේ. 

එම අවස්ථාවේදී විමර්ශන කටයුත්තක් සඳහා කැබ් රථයකින් කොටහේන පොලිස් වසමට පැමිණ සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට මෙම මෝටර් රථය කොල්ලකෑම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී පලා යමින් තිබූ කාර් රථය පසුපස ලුහුබැඳ ගොස් එය නැවත්වීමට සංඥා කර ඇත. 

නමුත් සැකකරු විසින් පොලිස් අණ නොතකා තවදුරටත් මෝටර් රථය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරින් විසින් රාජකාරි පිස්තෝල අවියකින් වෙඩි පහරවල් දෙකක් තබා ඇති අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් දුම්රිය මාර්ගය අසලදී කාර් රථය නතර කර ගැනීමට සමත්වී තිබේ.

නිලධාරින් කාර් රථය අසලට යන අවස්ථාවේදී සැකකරු මෝටර් රථයෙන් බැස පලාගොස් ඇති අතර කාර් රථය තුල සිටි කාන්තාවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අද තද වැසි.!

අද තද වැසි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දෘෂ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදි සූර්යයා අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවත් සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ අද දින (13) දහවල් 12.11ට තුනුක්කායි, ඔලුමඩු‍, ඔඩ්ඩුසුඩාන්, කුමලමුනේ සහ චෙම්මලෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවය.

අලුත් අවුරුද්දට බෙදන්න ගෙනා කිලෝ 100ක් අල්ලයි.!

අලුත් අවුරුද්දට බෙදන්න ගෙනා කිලෝ 100ක් අල්ලයි.!

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගත් බවයි.

විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.!

විදුලි බල මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක්.!

පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව හෙට (13) සිට එළැඹෙන අප්‍රේල් 21 වැනිදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.

විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ  අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී ඇති බවත් මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බවත්ය.

ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති බවත් ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්දි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. 

ඒ අනුව මෙම කාල සීමාව තුළදී ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබේ.

පැය 24 පුරාම ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකය හඳුන්වා දෙයි.!

පැය 24 පුරාම ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකය හඳුන්වා දෙයි.!

සමුද්‍රීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ මුහුදු ආපදා තත්වයන්හි වහාම ප්‍රතිවාර දැක්වීම සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංක “106” හඳුන්වාදී ඇති අතර ඒ මගින් සෘජුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ වී ඕනෑම හදිසි අවස්ථාවකදී දැනුම්දීමේ හැකියාව තිබේ.

අලුතින් හඳුන්වා දුන් ක්ෂණික ඇමතුම් අංකය තුලින්, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීම සහ සමුද්‍රීය ආපදා තත්ත්වයන් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන ඇත. මහජනතාව, නාවිකයින් සහ වෙරළබඩ ප්‍රජාවන්ට ක්ෂණික හා සෘජු සන්නිවේදන ක්‍රම වේදයක් ලබා දීමෙන්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම මෙන්ම සමුද්‍රිය ආරක්ෂාව සහ පාරිසරික සංරක්ෂණය සඳහා වන ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට උත්සාහ කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමුද්‍රිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතම ආයතනය වන වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව සහ සමුද්‍රීය පරිසරය සුරක්ෂිත කිරීම සඳහා විශාල වගකීමක් ඉටු කරයි. මුහුදේ ජිවිතහා දේපල ආරක්ෂා කිරීම, තෙල් කාන්දු කළමනා කරණයේ පළමු ප්‍රතිචාරකයා ලෙස ප්‍රතිචාර දැක්වීම, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් මැඩලීම, සෝදිසී කිරීම සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු මුහුදේදී සිදුවන නිතී විරෝධි කටයුතු සඳහා ද එය සක්‍රියව දායක වේ.

සියළුම නාවිකයින්, ධීවරයන් සහ මුහුදු ආශ්‍රිත ප්‍රජාවන් හට මුහුදේ සිදුවන හදිසි අවස්ථාවන්හිදී හදිසි ඇමතුම් අංක “106” භාවිතා කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පිල්ලෙයාන්ට වැඩ වරදී.. රඳවාගෙන ප්‍රශ්න කරයි.!

පිල්ලෙයාන්ට වැඩ වරදී.. රඳවාගෙන ප්‍රශ්න කරයි.!

මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇත.

පසුගිය 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන් පසුගිය (08) වනදා මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

රු.10,000/= ක දීමනාව බොරු.. මහජනතාවට දැනුම්දීමක්.!

රු.10,000/= ක දීමනාව බොරු.. මහජනතාවට දැනුම්දීමක්.!

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ විගමණික ශ්‍රමිකයින්ට මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යක් බවයි.

අදාළ වීඩියෝව මගින් පවසන පරිදි විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙසට නිවේදනයක් කාර්යාංශය මගින් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, මෙම වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් කාර්යාංශය මගින් ක්‍රියාත්මක නොකරන බවත්, මෙය විගමණික ප්‍රජාව නොමග යැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය දන්වා සිටියි. මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන්ද කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. එසේම රජයේ නිල නිවේදන ප්‍රචාරය කිරීම සඳහා මෙවැනි සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති අතර, ඉදිරියේදී මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, Youtube හා Tiktok මාධ්‍යයන් හරහා පමණක් සිදුකරන බව වැඩිදුරටත් දන්වා සිටී.

සෑම මිනිසුන් දෙදෙනෙකුගෙන් අයෙකුට රිලවෙකු සිටිනවාදැයි සැකයක්.?

සෑම මිනිසුන් දෙදෙනෙකුගෙන් අයෙකුට රිලවෙකු සිටිනවාදැයි සැකයක්.?

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පසුගියදා කරන ලද සංගණනයේ දත්තවලට අනුව කෘෂි භෝගවලට හානි කරන ප්‍රධානම සත්ව කොට්ඨාශය වන රිලවුන් ලක්ෂ 80 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 

මීට අමතරව වඳුරන්ද ලක්ෂ 40 ක් පමණ සිටින බවට හෙළිදරව් වී ඇතැයි අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අනුපාතයක් ලෙස ගත් කළ සෑම මිනිසුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට රිලෙවෙකු හෝ වඳුරෙකු වෙන් කළ හැකියි.

කෘෂි භෝග වලට හානි කරන රිළවා, වඳුරා, මොනරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධ සංගණනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු මස 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් තුළදී සිදු කෙරුණා. 

කැලෑ සහ වනාන්තර ප්‍රදේශ හැර දිවයිනේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව මෙම සංගණනය සිදු කළා. 

කෙසේ නමුත්, මෙම සංගණනයේ දත්තසම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවට තහවුරු වී තිබෙනවා. 

ඊට හේතු වී ඇත්තේ ඇතැමුන් රිළවුන් සහ වඳුරන් ගහනය වැඩි අගයකින් සංගණන පත්‍රිකාවේ සඳහන් කර තිබීමයි. 

මේ නිසා ගැටලුදායක දත්ත සහිත තොරතුරු යළි නිවැරදි කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශ වලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යවා නැවතසමීක්ෂණයක් සිදු කිරීම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, මිහින්තලේ, කැකිරාව ආදී ප්‍රදේශ ආශ්‍රිතව එම සමීක්ෂණ කටයුතු පසුගියදා නැවතත් සිදු කෙරුණා. 

මේ අනුව, ගැටලුකාරී දත්ත සහිතප්‍රදේශ වල නැවත සමීක්ෂණ කටයුතු ඉදිරි දිනවලදී ද සිදු කිරීමට නියමිතයි. 

ගොවීන් විසින් රිළවා සහ වඳුරාගේ ගහනය සම්බන්ධ දත්තනියමිත සංඛ්‍යාවට වඩා කීප ගුණයකින් සඳහන් කර තිබුණද, මොනරා සහ දඬුලේනා යන සතුන්ගේ දත්ත නිවැරදි ලෙස සටහන් කර ඇතැයිද පැවැසෙනවා.