Foreign news (Sinhala)

උණුසුම් කාලගුණයෙන් පාකිස්තානයේ 500ක් මරුට.!

මේ දිනවල පාකිස්තානයේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගත වූ දින 06 ක කාලය තුළ පුද්ගලයින් 500ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළිමහනේ රැකියා කරන පුද්ගලයින් මෙලෙස මියගොස් ඇති බවත් මියගිය බොහෝ පිරිසක් අවුරුදු 60-70 අතර හෝ අවුරුදු 70 ඉහල පුද්ගලයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැමි දිනවල පාකිස්තානයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 සහ 50 දක්වා ඉහල ගොස් තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයට එරෙහිව ජනතාව පාරට බහී.. පාර්ලිමේන්තුවට ගිනි තියයි.!

රජය විසින් බදු වැඩි කිරීමට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇති අතර එම විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා ඇත.

පොලීසිය සිදුකළ වෙඩි තැබීමෙන් උද්ඝෝෂකයින් 13 දෙනෙකු මියගොස් ඇති බවත් රට පුරා නගර රැසක උද්ඝෝෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කෙන්යාව අවට විරෝධතා අතරතුර වාර්තා වූ ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවත් ආදරණීයයන් අහිමි වූ පවුල්වලට ශෝකය ප්‍රකාශ කරන බව අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් සදහන් කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් දැඩි තීරණයක.!

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමත්විත “යුද කැබිනෙට්ටුව” විසුරුවා හැරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් යුද කැබිනෙට්ටුවේ ප්‍රකට චරිතයක් වූ බෙනි ග්‍රාන්ට්ස් පසුගිය සතියේ ඉන් ඉවත් විය.

හමාස් සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහි මිලිටරි ව්‍යාපාර කළමනාකරණය කිරීම සඳහා ඔක්තෝබර් (11)දා පිහිටුවන ලද යුද කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම, පවතින ගැටුම සම්බන්ධයෙන් ඊශ්‍රායල ආන්ඩුවේ ප්‍රවේශයේ සැලකිය යුතු වෙනසක් සලකුනු කරයි.

පසුගිය ජනවාරි මාසයෙන් පසුව ඊශ්‍රායල හමුදාව මුහුණදුන් බරපතළම ප්‍රහාරය දකුණු ගාසා තීරයේ සිදුවූ අතර ඒ හේතුවෙන් ඊශ්‍රායල සොල්දාදුවන් 8 දෙනෙක් මියගිය බව එරට ආරක්ෂක අංශ සදහන් කරයි.

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්.!

නැගෙනහිර ඉන්දියාවේ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මගී දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ කොල්කටා නගරය සහ සිල්චාර් අතර ධාවනය වන කන්චෙන්ජුන්ගා සීඝ්‍රගාමී දුම්රිය, සිලිගුරි නගරයට දකුණින් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තේ වතු සහ හිමාලය දසුන් සඳහා ප්‍රසිද්ධ කඳුකර සංචාරක ගමනාන්තයක් වන ඩාර්ජිලිං වෙත යන කඳු පාමුලට පහළින් මෙම අනතුර සිදුව ඇති අතර දුම්රිය මැදිරි තුළ සිරවුණු මගීන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර ඇත.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ හැපුණු මගී දුම්රියේ මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටත වැසිවී ගොස් ඇති අතර වෛද්‍යවරුන්, ගිලන්රථ සහ ආපදා කණ්ඩායම් ඇතුළු වෛද්‍ය ආධාර එම ස්ථානයට යොමුකර ඇති බව බෙංගාල මහ ඇමති සදහන් කරයි.

පණ කෙන්ද රැකගන්න පුටින් අවසන් අවස්ථාව ලබාදෙයි.!

ලෝක සංවිධාන රැසක සහ රටවල් 90 ක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේදී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් පැවැත්වූ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් දැනුම්දී ඇත්තේ යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිහිනය සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බවයි.

ස්විට්සර්ලන්තයේදී පැවති එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ආරාධනා කර නොතිබුණු බව පැවැසෙයි.

කෙසේවෙතත් එම සාම සමුළුවට එක් වූ යුරෝපා බටහිර රටවල් සියල්ලක්ම පාහේ, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.

Mpox වෛරසය භයානකයි.. පැය 24ක් තුළ මරණ දෙකක්.!

පැය 24ක් තුළ “mpox” නම් වෛරස රෝගය වැළඳුනු පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇති බව දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

පළමු මරණය වාර්තා වී පැය 24 කට අඩු කාලයකට පසුව දෙවන පුද්ගලයා මියගොස් ඇති අතර වයස අවුරුදු 37 සහ 38 හැවිරිදි වියේ පසුවූවන් දෙදෙනෙක් එලෙස මියගොස් ඇත.

2024 වසරේදී එරටින් ආසාදිතයින් 6 දෙනෙක් හමුවී ඇති අතර සිදුකළ පරීක්ෂණ වලදී එම සියලුම පිරිමින් වයස අවුරුදු 30ත් 39ත් අතර වන බවද සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මීට පෙර මෙම වෛරස රෝගය හැඳින්වූයේ මංකිපොක්ස් නමින් වන අතර සමීප සම්බන්ධතා හරහා රෝගය ආසාදනය වන බවත් මුල් රෝග ලක්ෂණ උණ, හිසරදය, ඉදිමීම්, පිටුපස වේදනාව, මාංශ පේශි කැක්කුම, කැක්කුම දක්වා වර්ධනය විය හැකි බවද සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2022 වසරේදී mpox පැතිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර මෙය පසුගිය වසරේ අවසන් වුවද, සමහර රටවල තවමත් සුළු රෝගීන් වාර්තා වේ.

ඕනෑම පුද්ගලයෙක්ට මෙම රෝගය වැළදිය හැකි අතර පුද්ගලයන් ස්පර්ශය, සිපගැනීම, ලිංගිකත්වය, සතුන්, දඩයම් කිරීමේදී, සම ඉවත් කිරීමේදී හෝ ආහාර පිසීමේදී රෝගය වැළදිය හැකි බවද සදහන් කරයි.

සුපිරි ගෝල රකින්නා හදිසියේම මරුට.!

එංගලන්තයේ මිල්වොල් පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා සහ මොන්ටෙනෙග්‍රෝ ජාතික පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා ලෙස කටයුතු කළ Matija Sarkic හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය ජූනි (05) වනදා බෙල්ජියම සමග පැවති තරගය Matija Sarkic අවසන් වරට සිය ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර අද දිනයේ ඔහු හදිසියේම මියගිය බව මොන්ටෙනෙග්‍රෝ පාපන්දු සම්මේලනය සදහන් කරයි.

ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක්.!

උතුරු ඊශ්‍රායලය වෙත ලෙබනනයේ සිට එල්ලකර තිබූ මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් දකුණු ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරය ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සහ කාලතුවක්කු යොදාගෙන එල්ලකළ බවත් පසුගිය දින කිහිපය පුරා දෙපාර්ශ්වය එකිනෙකාට ප්‍රහාර එල්ල කර⁣ගත් බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කරයි.

හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් මේ දක්වා ඊශ්‍රායල හමුදා භටයින් 18ක් සහ සාමාන්‍ය වැසියන් 10ක් මියගොස් ඇති අතර ඊශ්‍රායලය එල්ලකළ ප්‍රහාර හේතුවෙන් හිස්බුල්ලා සාමාජිකයින් 300ක් සහ ලෙබනන් සාමාන්‍ය වාසිය 80ක් පමණ මියගොස් ඇත.

අමෙරිකාව පුටින්ට අනතුරු අඟවයි.!

නුදුරේදීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් එමගින් උතුරු කොරියාව සහ රුසියාව අතර යුද සබඳතා තවත් වර්ධනය විය හැකි බවත් එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා වලට එරෙහි ක්‍රියාවක් බව අමෙරිකාව සහ දකුණු කොරියාව සදහන් කරයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේගේ එම සංචාරය හේතුවෙන් රුසියාව සහ උතුරු කොරියාව අතර යුද සම්බන්ධතා ප්‍රවර්ධනය නොවිය යුතු බව අමෙරිකාව සහ දකුණු කොරියාව සදහන් කරයි.

ඔස්ට්‍රේලියාව ජුලි 01 සිට දැඩි තීරණයක් ගනී.. වීසා නීති වෙනස් කරයි.!

ඔස්ට්‍රේලියානු රජය විසින් සංචාරක වීසා ලබාගෙන එරටට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ක්‍රමවේදය ජූලි (01) වනදා සිට අත්හිටුවීමට තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යයනය කිරීමට පැමිණෙන්නන් සහ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට ඔස්ට්‍රේලියාව මෙම වසර මුල සිට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අතර ඒ සම්බන්ධව රෙගුලාසි දැඩි කිරීමේ තවත් පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇත.

පසුගිය 2023 වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ මැයි දක්වා සංචාරක වීසා ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අයැදුම්පත් 360,000ක් ලැබී ඇති බවත් ඔවුන් සංචාරක වීසාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ලැයිස්තුව බව ඔස්ට්‍රේලියානු අගමැති කාර්යාලය සදහන් කරයි.